රිලවුන්ගෙන් වගාවට වන හානිය අවම කරගැනීම සඳහා ගස් වල මිරිස් ගෑම සහ දීර්ඝ කාලීන විසඳුමක් ලෙස සතුන් වන්ධ්‍යකරණයට භාජනය කිරීම (ආහාර සමග මිශ්‍ර කර දෙන වන්ධ්‍යකාරක) වෙනත් රටවල අත්හදා බලා ඇති බව මම පැවසුවෙමි.
මා එසේ පවසන්නේ සත්ව ඝාතනයට මගේ ඇති විරෝධතාවයක් නිසා නොව රිලවුන් මැරීම මේ ගැටළුවට තිරසාර විසඳුමක් නොවන නිසාය. රිලා මස් කෑම හෝ එය ප්‍රවර්ධනය කිරීම ලංකාවේ ප්‍රායෝගික නොවේ. මේ නිසා රිලවුන් මැරීම මෙන්ම මළකුණු කෙටි කාලයකදී පිළිස්සීම හෝ වැළලීම මෙම ව්‍යාපෘතියේම අංගයක් විය යුතුය. රිලවෙකු මැරීමේ එකම ප්‍රායෝගික ක්‍රමවේදය රයිෆලයකින් වෙඩි තැබීමයි. වායු රයිෆල් වලින් වෙඩි තැබීමෙන් බොහෝ විට සිදුවන්නේ රිලවුන් මියයාම වෙනුවට තුවාල ලැබීම සහ තුවාල ලත් රිලවුන් බලාපොරොත්තු නොවන ස්ථාන වල මිය යාමයි. මෙය විශාල පාරිසරික අර්බුදයකට මුල් විය හැක.
මේ අනුව රිලවුන් මරාදමා මේ ගැටළුව විසඳීමට නම් පුහුණු වෙඩික්කරුවන් යොදාගෙන රිලවුන් සාමුහික වශයෙන් ඝාතනය කල යුතුය. දැනට අඩුම වියදම ඇති රයිෆල් උණ්ඩයක් රුපියල් 700 ක් පමණ වෙයි. මේ අනුව 100% සාර්ථකව රිලවුන් මිලියනයක් මැරීමට (සෑම උණ්ඩයකටම ඝාතනයක් සිදුවීමට) පමණක් රුපියල් මිලියන 700 ක් වැය වෙයි. රිලා මළකුණු සෞඛ්‍යාරක්ෂිතව ඉවත්කිරීමේ වියදමද මෙයට එකතුවේ. නමුත් මේ මිළටත් වඩා භයානක ප්‍රතිඵලය වන්නේ වෙඩික්කරුවන් දහස් ගණනක් පුහුණු කර රයිෆල් හා උණ්ඩ සමග සමාජයට මුදා හැරීමයි. රිලවුන් මරා දමා අවසන් වූ පසු මොවුන්ට කරන්නේ කුමක්ද යන ගැටළුවට මුලින්ම පිළිතුරක් සෙවිය යුතුය. ලංකාවේ සිදුවන දරුණු ගණයේ අපරාද වලින් 80%ට වඩා හමුදා සේවයේ නිරත වූ හෝ සේවයෙන් නොදන්වා ඉවත් වූ සෙබළුන් සම්බන්ධ සිදුවීම් බව අප අමතක නොකළ යුතුය.
ගස්වල Carolina Reaper හෝ ආදේශක මිරිස් වර්ගයක් තැවරීම පිළිබඳව මා මුලික අදහස පමණක් ඉදිරිපත් කලෙමි. මෙහිදී ගල්වන පාප්පයේ මිරිස් සාන්ද්‍රණය, ගසේ මෙම පාප්පය ගැලවිය යුතු කොටස, එය වර්ෂාවේ දියවී යාම අවම කරගැනීමට එකතුකළ යුතු අමතර ද්‍රව්‍ය, පොල් කඩන්නන්ට අවම බලපෑමක් ඇතිවන පරිදි එම කාර්ය සිදුකිරීමේ ක්‍රමවේද, පොල් වත්ත අවට ඊට ලඟින් ඇති වෙනත් උස ගස් ඉවත් කිරීම ආදී කාරණා රාශියක් පිළිබඳව එක්කෝ පර්යේෂණ කල යුතුය නැත්නම් දැනටත් ඇති දැනුම් පද්ධති භාවිතා කල යුතුය. මගේ පෝස්ට් එක share කල අයගේ පිටුවල සමහරුන් දක්වා ඇති අදහස් දකින විට සිතෙන්නේ ලාංකිකයා තව බොහෝ සෙයින් බුද්ධිය වර්ධනය කරගත යුතු බවයි.