ලංකාවේ අධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයට දැන් කල් හරිද? මෙය මට පසුගිය වසර දහය පුරාම නැගුනු පැනයකි. ඒ හැමවිටම මගේ පිළිතුර වුයේ නැත යන්නයි. ඊට හේතුව වුයේ ලංකාවේ සිටි කාලයේදී මා ලද අත්දැකීම්ය. දේශපාලකයාගේ සිට සුළු සේවකයා දක්වා ලංකාවේ තිබුණේ ආයෝජකයාව මිරිකා කොමිස් ඉල්ලීමේ තරගයකි. දැන් එය වෙනස් වී ඇත්දැයි මම මගෙන්ම අසමි.
විසිවෙනි ශතවර්ෂයේ සහ විසි එක වෙනි ශතවර්ෂයේ සංචාරකයා අතර විශාල වෙනසක් ඇත. ලංකිකයා පවා 80-90 දශකව දක්වාම ට්‍රිප් ගියේ ස්ථාන නැරඹීමට සහ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමටය. මේ නිසා හිමිදිරි උදයේම ගමන පටන්ගන්නා දේශීය සංචාරකයා හැකිතාක් තැන්වලට දුවමින් සවස් වන විට දැඩිසේ විඩාවට පත්ව නවාතැන්පොළට පැමිණෙයි. නමුත් අද බොහෝ දෙනෙක් සංචාරයක යෙදෙන්නේ කොහේ හෝ නිස්කලංක තැනක රැඳී විවේක සුව විඳීමටයි. ඇලකින් දොළකින් නාගෙන, කයියක් ගහගෙන, සිංදුවක් කියාගෙන සිටීම අද දේශීය සංචාරයක අරමුණයි.
අන්තර්ජාතිකව මේ තත්වය තවත් ගැඹුරට ගොස් ඇත. තම අවිවේකී වේගවත් ජීවිතයෙන් තාවකාලිකව හෝ මිදී තම අධ්‍යාත්මය සුවපත් කරගැනීම අරමුණ කරගත් සංචාරකයන් ගණන සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මේ පිරිස බොහෝ විට ආගමකට කොටුවී සිටිනවා වෙනුවට නොයෙකුත් ආගම් දහම් ගවේෂණය කරමින් ලොව පුරා සංචාරය කරයි. මට නේපාලයේදී සහ ඉන්දියාවේදී හින්දු සහ මහායාන බෞද්ධ ආශ්‍රමවල සති ගණන් රැඳී සිටින ක්‍රිස්තියානි, බහායි ආගමිකයන් බොහෝ දෙනෙක් හමුවී ඇත.
සංචාරක ව්‍යාපාරයේ සිදුවන මෙම වෙනස පිළිබඳව මා මුලින්ම නිරීක්ෂණ කලේ සහශ්‍රයේ මුල් වසර කිහිපයේදීය. මේ අනුව මම ඉතා විස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ගොඩනැගුවෙමි. එහි සඳහන් වුයේ හෙක්ටෙයාර 500 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුණු අධ්‍යාත්මික ගම්මානයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා මගේ යෝජනාව වුයේ ලොව පුරා පැතිරුණු ආගම් දොළහක පමණ ආයතනවලට සුඛෝපභෝගී තත්වයේ නේවාසික පහසුකම් සහිතව ආගමික සිද්ධස්ථාන ගොඩනගන ලෙස ආරාධනා කිරීමයි. මේ සඳහා මම කතෝලික, ක්‍රිස්තියානි (ඇන්ග්ලිකන් හෝ ප්‍රොතෙස්තන්ත), ඉස්ලාම් (සුන්නි සහ ෂියා), හින්දු, බෞද්ධ (ථෙරවාද, මහායාන, සහ වජ්‍රයාන), බහායි, යුදෙව්, ෂික්, ජෛන, කොන්ෆියුසියසම්, සහ ටාඕයිසම් ආදී ආගම් යෝජනා කලෙමි.
සෑම ආගමික ආයතනයක්ම පවතින පරිසරයට අවම බලපෑමක් ඇතිවන පරිදි ඉදිකිරීම්වල යෙදීමට පියවර ගත යුතුය. ඒ ඒ ආගමට අයත් සංස්කෘතික අංග උපරිම ආකාරයෙන් ඒවායේ ස්ථාපිත කිරීමට අනුබල දිය හැක. සෑම දිනකම ආගමික ආයතනවල ආගමට අදාළ දේව යාතිකා, පුද පූජා, භාවනා සහ සක්මන්, ධර්ම සාකච්චා, ගීතිකා සහ නැටුම්, ආහාර වත්පිළිවෙත්, ආදී අංග පැවැත්විය හැක. බොහෝ ආගම් ජලය හා බැඳී ඇති බැවින් අධ්‍යාත්මික ගම්මානය ගංගාවක්, ඇලක් හෝ දොළක් ආශ්‍රිතව ඉදිකිරිම සුදුසුය. ගම්මානයට ඇතුළුවන ස්ථානයේදී පැමිණෙන උදවියට තම වාහන නතරකිරීමට ඉඩ පහසුකම් සලසා එතැන් සිට ගම්මානයේ ගමන් කිරීමට විද්‍යුත් මෝටර් රථ, ස්කූටර සහ පාපැදි ලබා දීම කල හැක.
මෙහි ව්‍යාපාරික මොඩලය මෙසේය. රජයේ ඉඩමක් මේ සඳහා ලබා දිය හැකි අතර ආගමික ස්ථානය සඳහා රජයට බද්දක් අයකළ හැක. සිද්ධස්ථානය සැදීම සඳහා ආයෝජනය 100%ම අදාළ ආගමික ආයතනය දැරිය යුතුය. නේවාසික සංචාරකයන්ගෙන් ලැබෙන ආදායමෙන් මෙන්ම පින්වතුන්ගෙන් ලැබෙන ආධාර වලින්ද යම් කොටසක් රජයට අය කරගත හැක. එසේම මෙහි සේවය කරන පිරිසෙන් 80% පමණ ස්වදේශිකයන් විය යුතු බවට නීති පැනවිය හැක. සංචාරකයන් එක් ආගමික සිද්ධස්ථානයක නේවාසික වුවත් ඔවුන්ට ඕනෑම ආගමික මධ්‍යස්ථානයකට නිදහසේ ඇතුළුවීමට ඉඩකඩ තිබිය යුතුය. එසේම සක්මන් මළු, භාවනා මළු, සාකච්චා කුටි ආදිය මෙන්ම ජල මාර්ගයේ ස්නානය කිරීම සඳහා ඉඩකඩ පහසුකම්ද සපයා දිය යුතුය.
සිද්ධස්ථානවල ඉතා විශාල ප්‍රතිමා, ආගමික සංකේත තැනීමට අනුබල දිය යුතු අතර ඒ ඒ ආගමට අදාළ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉතා විශාල ගොඩනැගිලි තැනීමට අනුග්‍රහය දිය යුතුය. මේවා සංචාරක ආකර්ෂණ වෙයි.
මෙම ව්‍යපෘති යෝජනාවට අදාළව යම් ආයෝජකයෙකුට වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය නම් එහි සාරාංශයක් ලබාදීමට හැකිය.