මැලේසියාවේ වාසය කරන සමයේ එහි ථේරවාද මැලේසියා සංසදයේ සාමාජිකයන් සමග සුහඳ සාකච්චා කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාවන් මට උදාවිය. මේවාට ගිහි - පැවිදි දෙපක්ෂයම සම්බන්ධ වෙයි. මේ සාකච්චාවන්ට බොහෝ විට පාදක වන්නේ බුදුදහම ප්‍රයෝජනයට ගන්නා ආකාරයන් පිළිබඳවයි. මෙහිදී බොහෝ දෙනෙක් පොතපතෙන් ලබාගත් දැනුමට වඩා ප්‍රයෝගිකව තමා ලද අත්දැකීම් සහ තමා යොදාගත් ක්‍රමවේදයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරති.
උදාහරණයක් ලෙස එක් අවස්ථාවක සංවාදය පැවතුනේ තමා රැකියාව කරන ස්ථානයේ සඟයෙක් ගෙන් තමාට එල්ල වන මානසික පීඩනයෙන් මිදීමට බුදුදහමින් උගත හැකි ක්‍රමවේදයන් මොනවාද යන්නයි. මෙය ඇත්තටම එහි සිටි කාන්තාවකට ඇතිවී තිබූ ගැටළුවකි.
මෙහිදී බොහෝ දෙනෙක් සමාන අවස්ථාවල තමන් අනුගමනය කල ක්‍රමවේද පිළිබඳව කතා කළහ. බුදු දහමින් පමණක් නොව නූතන මනෝ විද්‍යාවෙන්, හිප්නොටිසම් තුලින්, හින්දු ආගමික සංකල්ප වලින් පවා අදට ගැලපෙන රාමුවක් තුල මෙම ගැටළුවට සාර්ථක විසඳුම් සෙවිය හැකිදැයි සාකච්චා විය. ඒවායේ සාර්ථක-අසාර්ථක බාවය මෙන්ම sustainability එක ගැනද සංවාද ඇතිවිය. කිසිවෙකුත් තමාගේ මතය පමණක් නිවැරදි යන මතයේ හෝ බුදුදහම තමයි ශ්‍රේෂ්ඨම දහම සහ කෝකටත් තෛලය වැනි මතවල එල්ලී සිටියේ නැත. කතා බහ අවසන් වන විට අපේ දැනුම් සම්භාරයන් පුළුල් වී තිබුණි. එකම ගැටළුවට විසඳුම් කිහිපයක් සහ සාර්ථක ක්‍රමවේද දෙක තුනක් තිබිය හැකි බව අපට අවබෝධ විය. බුදුදහම පිළිබඳවද මම සෑහෙන යමක් අළුතින් ඉගෙන ගතිමි. පසු කලෙක මම මේ ඉගෙනගත් ක්‍රමවේදයක් මගේ ගැටළුවලදී සාර්ථකව යොදාගතිමි.
මේ ලිපියට ප්‍රවිෂ්ඨයක් ලෙස මා බුදුදහම පාවිච්චි කිරීම ගැන දැමූ පෝස්ට් එකට පළවුණු සමහර අදහස්වලින් සිංහල බෞද්ධයා පිළිබඳව යම් සිතුවමක් රූපගත විය. කෙනෙකු පණිවිඩයක් කියවා ගන්නේ තමන්ගේ බුද්ධි මට්ටමට අනුවය. මේ නිසා මට කෙනෙකු මා කියන දෙයක් අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව විනිශ්චයක් දිය නොහැක. කෙසේ නමුත් සමහර අයගේ අදහස් දුටු විට මට හැඟී ගියේ ඔවුන් මා කියන දෙය ප්‍රයෝගිකවම සනාථ කරන බවයි. ඔවුන් බුදු දහම භාවිතා කිරීම පසෙකලා බුද්ධාගම රැකගැනීමටත් එය defend කිරීමටත් සටනට පිවිස සිටියහ. එය බොහෝ කාලයක් ලාංකික දේශපාලනය ඔවුන්ගේ මනෝභාවය සකස් කල ආකාරය විය හැක. ඒ අතරම පණිවිඩය අවබෝධ කරගැනීමට නොහැකි වූ සමහර දෙනා මතු කරන "යන්නේ කොහේද මල්ලේ පොල්" වැනි කතා විනෝද ජනකය.