Thursday, 29 June 2023

නාඳුනන පිස්සා


කාලයක් තිස්සේ මෙම බ්ලොග් ලිපිවල කමෙන්ට් ලෙස මට දැඩි ලෙස අපහස කරමින් ලියූ පුද්ගලයා වෙනුවෙන් සටහනක් තැබීමට සිතුනි. ඒ ඔහු මේ බ්ලොග් අඩවිය වෙනුවෙන් කැප කල කාලය උදෙසා පල කරන ගෞරවයක් ලෙසය. මේ බ්ලොගය තුල දශකයකට වඩා කාලයක් අදහස් පලකල කිහිප දෙනෙක් මෙම පුද්ගලයා "පිස්සා" ලෙස බෞතිස්ම කලෝය. පිස්සාගේ අපහාසද පිස්සට එරෙහිව නැගෙන ප්‍රති අපහාසද එක්තරා අවස්ථාවක සීමාවන් ඉක්මවා යන්නට වූ බැවින් මට අකමැත්තෙන් වුවද මෙම බ්ලොගයේ යම් සීමා පනවන්න සිදුවිය. එහෙත් බ්ලොගය තවමත් පිස්සාට විවෘතය. පිස්සා කියනා දේ ගැන පිස්සාට ආත්ම විශ්වාසයක් සහ අභිමානයක් ඇත්නම් පිස්සාට පිස්සාගේ සැබෑ නමින් අදහස් පලකල හැක. ඒ සඳහා මගේ සියළු සමාජ මාධ්‍ය අඩවියන්ද පිස්සාට විවෘතය. 

පිස්සාට ඉක්මන් සුවය පතමි 

Wednesday, 28 June 2023

නෝනා සහ භූතයා


මේක පරණ කතාවක්. 

අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්‍රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්‍රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්‍රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.

දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ  ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.

"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.

"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.

"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"

"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.

" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.

"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.

"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.

දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.

"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.

"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.

නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා. 

මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල. 

"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"

භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"

භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"

භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා 

හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.

ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා. 

"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.

"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"

"එතකොට මහත්තයා?" 

"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්‍ට්‍රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"

භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා 

"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ" 


Monday, 19 June 2023

අන්ඩ දමා පැච් ඇල්ලු සිහින


මෝසස්ගේ පොරොන්දු දේශයේ සිට සියළුම නායකයන් ජන සමුහයන්ගේ පැවැත්ම සහතික කලේ ජනතාව අතර සිහින ගොඩ නැගීමෙනි. ශිෂ්ඨාචාරයක ඉදිරි ගමන උදෙසා සිහින නැත්නම් බලොපොරොත්තු අත්‍යවශ්‍යය. සිහින බිඳ වැටුණු කල ජන සමුහ විසිරී යයි. ඔවුන් නව සිහින සොයා දේශාටනවල යෙදෙයි. ලංකාවේ දේශපාලකයන් ජනතාවගේ සිහින බොඳ කරන විට මිනිසුන් "දියසේන උප්පත්තිය", "රාවණා නැගිටීම" වැනි සංකල්ප ඔස්සේ හෝ සිහින තනන්නට උත්සහ ගත්හ. 

පසුගිය සමයේ රජය සුනු විසුණු කර දැමුවේ මේ ජනතා සිහිනයයි. ඔබ අද ගුවන් තොටුපලේ, පාස්පෝට් කාර්යාලයේ, තානාපති කාර්යාලවල දකින්නේ මේ සිහින නොමැති මිනිසුන් සිහින සොයා යාමයි. මේ එදා සිහින පොදි බැඳගෙන තාප්ප වල චිත්‍ර අඳින්න, පුරන් කුඹුරු අස්වද්දන්නට ඉදිරියට පැමිණි තරුණ පෙලමයි. 

රනිල් වික්‍රමසිංහගේ 2048 සංවර්ධනය මේ ජනතා සිහින රෙපයාර් කිරීමේ අවසාන උත්සාහය ලෙස මම දනිමි. 

නමුත් අද ලාංකිකයා රනිල්ගේ අන්ඩ දමා පැච් ඇල්ලු සිහින හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව පෙනෙයි. 



Sunday, 18 June 2023

මෙව්වා එකෙන් රට හදන අපි



"හැකියාවක් ඇති අන්තිම වෘතිකයාත් රටින් නික්ම ගිය දිනෙක ඉතිරිවන දේශමාමකත්වය දෝරේ ගලන ලාංකිකයන් ලංකාව මෙව්වා එකෙන් දියුණු කරනු ඇත".

ඉහත FB පොස්ට් එකට අදහස් පලකල සැමට තුති.

මෙම පෝස්ට් එක මම පළ කලේ ලංකාව මේ වන විට මුහුණ දී සිටින බරපතලම ගැටළුවක් ලාංකිකයා කෙතරම් දුරට ග්‍රහණය කරගෙන ඇත්දැයි යන්න පිළිබඳව යම් අදහසක් ගැනීමටයි. බලාපොරොත්තු වුවා සේම බොහෝ දෙනෙකුට ගැටළුව ග්‍රහණය කරගැනීමට තබා මා කියන කාරණය තේරුම් ගැනීමටවත් පුළුවන් වී නැත.

සමහරෙක් තමා ජිවත් වන යුරෝපීය රටවල්වල වෘතිකයන් (professionals) යන වදන අසාවත් නැත.

සමහරෙක්ට අනුව වෘතිකයන් කිසිම වැඩකට නැති පිරිසකි. ඔවුන්ගෙන් රටට කිසිඳු දියුණුවක් ලැබී නැත. මේ නිසා ඔවුන් රට හැර යාම හොඳය.

බොහෝ දෙනෙකුට ඇත්තේ වෘතිකයා පිළිබඳව තමා විසින්ම කරගන්නා ලද අර්ථ දැක්වීමකි. ඒ අනුව වෘතිකයන් යනු දොස්තරවරුන්, ඉංජිනේරුවන් වැනි විශේෂ කණ්ඩායමකි. ඉන්පසු ඔවුන් තමන්ගේම ස්වයං අර්ථ කථනයට තමන්ම බැන වදිති.

ගැටළුවක් නැට්ටෙන් අල්ලා ගැනීම ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ මෙයයි. අපි එය ඔලුවෙන් අල්ලා ගැනීමට උත්සහ දරමු.

වෘතිකයා යනු යම් ක්ෂේත්‍රයක් තුල නිපුණත්වයක් ලබාගෙන එය ජීවිකාව කරගත් අයෙකි. මේ අනුව වෘතිකයා දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී, ගුරුවරු, පෙදරේරු, වාහන රෙපයාර් කරු, පේන්ට් බාස්, ක්‍රීඩකයන් ආදී විශාල පරාසයක පැතිරෙයි. වෘතිකයෙකු සහ ආධුනිකයෙකු අතර ඇති වෙනස් කම් කිහිපයකි. එනම් වෘතිකයෙකු වීමට අවශ්‍ය විධිමත් පුහුණුව, ක්ෂේත්‍රීය දැනුම සහ අත්දැකීමයි. මේ අවශ්‍යතා සපුරාලීමට කාලය ගතවෙයි. "හැකියාවක් ඇති වෘතිකයන් (capable professionals)" යනු තමන්ගේ නිපුණත්වය මනාව ක්‍රියාවේ යෙදවිය හැකි පිරිසයි. මෙවන් වෘතිකයන් රටකට අහිමිවීම තුල ජනතාවට බොහෝ දේ අහිමි වෙන්නේ මේ නිසාය.

රටක් දියුණු කිරීම වෘතිකයාගේ කාර්යභාරය නොවෙයි. වෘතිකයාගේ කාර්යභාරය රටක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. රටක් දියුණු කිරීම සැලසුම් සම්පාදන සහ තීරණ ගැනීමේ බලය හිමි පිරිස මත රඳා පවතී. ඒ සඳහා හොර තක්කඩි මැටි මෝලුන් පත් කරගෙන වෘතිකයා රට හදන කම් බලාගෙන සිටින නුවණක්කාරයන්ද ලංකාවේ ඇත.

අද වන විට මෙම වෘතිකයන් සිය දහස් ගණනින් රටින් පිටවෙයි. වෙනදා මෙන් නොව අද කොරියාවට යන තරුණයාගේ සිහිනයද එහිම පදිංචි වීමයි. නැත්නම් ළඟ පාත රටකට පැනගැනිමයි. අන්තිමේදී පුහුණුවකට යන ඉහළ පෙලේ පොලිස් නිලධාරින්ද ඒ රටවල ගල් වෙන තත්වයකට පත්ව ඇත.

තමන්ගේ දේශපාලන කන්නාඩිය මත බුද්ධිය සිර කර මේ ගැටලුව දෙස බැලීමෙන් වලකින්න. තමන්ට බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් නැතිව UNO එකේ පිං සායනයට දුවන්න වූ විට, ගෙයකට ප්ලෑනක් ඇඳගන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැති වූ විට, වහල හදා ගන්න වඩු බාස් කෙනෙක් නැති වූ විට, වාහන බාස්ලා නැතිව කැඩුණු කාර් එක ගෙදරට තල්ලු කරගෙන එන්න වූ දවසට, තම දරුවාට ඉංග්‍රීසි අකුරක් උගන්නන්න ගුරුවරයෙකු නැති වූ විට ඔබට තේරේවි මා මේ කියනා දෙය.

විසිවන සියවසේ මැද භාගයේ ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විට එවකට සිටි එක් ප්‍රභල දේශපාලකයෙක් "ඕකෙන් වෙන්නේ අපිට ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වෙන එකයි" කියා කියූ බව ප්‍රකටය. සමාජ අසාධාරණය කුමක් වුවත් මෙහිදී ඔහුගේ කතාවෙන් ගම්‍ය වන්නේ සැබෑ යථාර්තයකි. එනම් අනාගතයේ යම් ක්ෂේත්‍රයක ඇතිවන වෘතිකයන්ගේ හිගයක් පිළිබඳව හඳුනා ගැනීමයි. නමුත් එයට පිළියම නිදහස් අධ්‍යාපනය වැලැක්වීම නොව පොල් කඩන පුද්ගලයාටත් වෘතියමය ගෞරවයක් සමග හොඳ වේතනයක් ලබා දීම බව දේශපාලකයාට වැටහුණේ නැත. පසුගිය අඩසියවස තුල ගෙඩි කැඩීමට කෙනෙක් නොමැතිව ගෙවතු වල කපා දැමුණු පොල් ගස් කොස් ගස් ගණන නිමක් නැත.

Tuesday, 6 June 2023

ආගම දහම කා වෙනුවෙන්ද?


යම් ආගමක්, දහමක්, දර්ශනයක් ඔබ  ප්‍රයෝගිකව පරිහරණය කරනවාද? එයින් ඔබට සතුටක්, සැහැල්ලුවක්, තෘප්තියක්, ඇතිවුණා යයි සිතෙනවාද?

එසේ නම් එම දහම අන්‍යන්ට ඉදිරිපත් කරන්න හෝ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්න මැලි නොවන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත. 

මෙය කරන්නේ කෙසේද?

දහම හා ඒ ආශ්‍රිත කරුණු ග්‍රන්ථාරූඩ කරන්න. ඔබ දකින දහම් පණිවිඩය අනෙකාට ලබා දීමට ලිපි, කවි, ගී ලිවීම ඇතුළු සාහිත්‍ය කටයුතුවල යෙදෙන්න. දහම් සාකච්චා පවත්වන්න. අන්‍යයන්ට දහම හා සම්බන්ධවීමට පහසුකම් සලස්වන්න, ඒ හැම දේටම ඉහලින් ඔබ දහමෙහි හැසිරෙන්න. 

ඔබත් භාවිතා නොකර, පෙට්ටගමක තැම්පත් කර අගුළු දමා, ලෝකයටම බැන වදිමින්, ආඩපාලි කියමින්, කඩුවක් වනමින් පෙට්ටගම වටේ කැරකුනා කියා ආගමක් රැකගත හැකිදැයි ඔබම සිතා බලන්න. විශේෂයෙන්ම බුදු දහම එසේ රැකගත හැකිද? 

මදක් නැවතී සංසුන්ව සිහි බුද්ධිය අවදිකරගෙන සිතන්න. 

ඔබ ආගම දහම තුල එම ඉගැන්වීම් වලට අනුකූලව හැසිරෙනවාද?

ඔබට ආගම දහම තුලින් ලැබුණු යහපත් දේ මොනවාද?

ඔබට අවශ්‍ය ඒ යහපත් දේ ලොව ලබනවා දකින්නද?

ඔබ වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්ද? 

එසේ නොමැති නම් ඔබට අවශ්‍ය ආගමික ලේබලයේ නාමයෙන් සමාජ රැකවරණයද?

ඒ රැකවරණය වෙනුවෙන් ඔබ ඔබගේ මනසේ ශාන්තිය, සතුට, සැනසුම, සැහැල්ලුව කැපකරන්න සුදානම්ද?

එලෙස කිරීමෙන් ඔබට හෝ ලෝකයට පලක් ඇත්ද?

ඔබවත් භාවිතා නොකරන ආගමක් දහමක් රැකගන්න හැදීමේ අර්ථය කුමක්ද? 

අවසානයේදී ඔබ ආගම රැකගන්න කියා කරන්නේ ඔබේ හිත ක්‍රෝධයෙන් වෛරයෙන් පුරවා ඔබව හිඟා නොකා හිඟා කන තත්වයට පත්කළ දේශපාලක තක්කඩියන් රොත්තක් වෙනුවෙන් ඔබේ සැපත නැවත නැවතත් දන් දීම නොවේද?

ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරන්න.

Saturday, 3 June 2023

මට හමු වූ බෞද්ධයන්


චීනයේදී, මැලේසියාවේදී මම නිදහස් චින්තකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා බෞද්ධයන් හමු වීමි. ඔවුන් බුදුදහම දකින්නේ සියළු මානසික බැමිවලින් ඔවුන්ට නිදහස් විය හැකි මාර්ගය අවබෝධ කරදුන් දර්ශනය ලෙසයි.

නේපාලයේදී, භූතානයේදී සහ උතුරු ඉන්දියාවේදී මම බෝසත් ආත්මයක් පතන බෞද්ධයන් හමුවීමි. තමා යන මග සකස් කරගැනීමට ඔවුන් හැකිතාක් බෝසත් චරිත ගැන කියවෙන කතාවල ඇති බෝසත් ගුණ දම් අනුව දිවි පෙවෙත ගත කිරීමට උත්සහ කරති. එයින් සතුට සහ සැනසුම පතති. 

ජර්මනියේදී සහ ස්වීඩනයේදී මට බුදු දහමේ ගැඹුර සහ හරය පිළිබඳව ගවේෂණ කරන බෞද්ධයන් හමුවිය. ඔවුන්ට බුදුන් පිළිබඳව විශේෂ සැලකීමක් නැත. ඔවුන්ගේ එකම අරමුණ බුදු දහම යථාවබෝධ කරගෙන එමගින් ආත්ම තෘප්තියක් ලැබීමයි.

මට උගන්ඩාවේදී ලේබල් නැති බෞද්ධයන් හමුවිය. සියවස් ගණනාවක්  ගෝත්‍රිකව බෙදී එකිනෙක අතර ගැටුම් ඇති කරගනිමින් ජිවත් වූ ඔවුන් අද බුදු දහම තුලින් එකිනෙකා කෙරෙහි කරුණාව, මෛත්‍රීය, සෙනෙහස වැඩීම, අන් මත ඉවසීම, සරළ දිවි පෙවෙතක් ගතකිරීම ප්‍රගුණ කරති.

කුඩා කල සිටම මගේ ප්‍රියතම ගායිකාව වූ ටීනා ටනර් මට කිසිදාක හමු වී නැත. නමුත් ඇයගේ ජීවිත තොරතුරු පිළිබඳව කවදත් උනන්දු වූ මට ආගමක් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන සතුට වඩා ගන්නේ කෙසේදැයි ඇයගෙන් යම් මගපෙන්වීමක් ලැබුණි. ඇය විශාල වශයෙන් මුදල් ගෙවා ලබා ගන්නා මානසික චිකිත්සකයාගේ උපදේශන වලට වඩා නොමිළේ ලැබුණු බුදුදහමේ  මගපෙන්වීම් කෙරෙහි විශ්වාසය තැබුවාය. 

ලංකාවේදී මට බුද්ධාගම ඇඟ පුරාම හලාගත් බෞද්ධයන් හමුවිය. ඔවුන් බුදුන්ට අපහස කරන්නේ කවුද, බුදු දහම රැකගන්නේ කෙසේද, බුදුන්ගේ උප්පැන්න සහතිකය වෙනස් කල හැකිද, ආදී නොයෙකුත් කාරණා හිස මත දරාගෙන අසතුටින්, වෛරයෙන්, කෝපයෙන් පසුවෙති. ඔවුන් තම මනසට ආගමේ නාමයෙන් තමන්ම දමාගත් විලංගුවල යතුර පවා ඈත දියඹට විසිකර ඇත. 

මා කීවේ මා දුටු දේ මිස මේ කිසිම බෞද්ධයෙකුගේ හොඳ-නරක නොවේ. සතුටින් සිටීම හෝ අසතුටින් සිටීම ඕනෑම අයෙකු සතු අයිතියකි. සමහරුන් අසතුට තුලින් වින්දනයක් ලබති. මේ නිසා මම විනිශ්චයශීලී (judgemental) නොවෙමි. එසේ වීමට මට අයිතියක්ද නැත.