Friday, 31 December 2021

හෝරාවේ තේමාව-7: ජවිපෙන් මිදී ජවිපෙ යා යුතු මග


හෝරාවේ තේමාව මේ වසරින් අවසන් කල යුතු බව මට සිතෙයි. 

පසුගිය සති කිහිපය තුල දුටු සිදුවීම්, ඊට දේශපාලකයා මෙන්ම ජනතාවද දක්වන ප්‍රතිචාර අප ඉතා විමසිල්ලෙන් විශ්ලේෂණය කල යුතුව ඇත. ලංකාවේ ඉදිරියට යන දේශපාලන පක්ෂයකට මේ ප්‍රතිචාර පෙන්වන යතාර්ථය තේරුම් නොගෙන ගිය හැකි දුර සීමිතය.

මහා බැංකු අධිපති හෙළිකිරීමට නොහැකි මූලාශ්‍රයකින් විදේශ වත්කම් වැඩි වුවා කියන විට ඒ පිළිබඳව ඔල්වරසන් දෙමින් පෝස්ට් පළකරන්නේ, දුරස්ථ සංවාදවලදී උජාරුවෙන් කතා කරන්නේ රටේ නුගත් ජනතාව නොවේ. ඒ බොහෝ දෙනෙක් උසස් යැයි සම්මත රැකියා කරන උදවියයි. රටක මහා බැංකු අධිපතිවරයෙකුට මෙවැනි ප්‍රකාශයක් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බව බහුතරයක් ජනතාව නොදන්නා බවක් මට හැඟේ. එය තනිකරම මාෆියා සංවිධානයක නායකයෙකුගේ ප්‍රතිචාරයකි. යුරෝපය, උතුරු ඇමරිකාව පසෙකින් තබන්න. දකුණු අප්‍රිකාවේ මේ සිද්ධිය වුවා නම් පසුදා මහා බැංකුවේ අධිපති සිරගෙදරය.

මේ මුදල් ලැබෙන්නේ රටේ නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් නොවන බව ඉතා පැහැදිලිය. එක්කෝ එය ගිනි පොලියට ලැබෙන ණයකි. නැත්නම් රටේ සම්පතක් විකුණා ලැබෙන ධනයකි. නොඑසේ නම් එය ජාවාරම්කරුවකුගේ කළු මුදලකි. මේ කුමන ආකාරයෙන් වුවත් එය උදම් ඇනීමට කරුණක් නොවෙයි.

මීට අමතරව, කිරිපිටි, ඉන්ධන, ගෑස්, ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍ය වල මිළ අහස උසට වැඩි වන විට ඒවා සාධාරණීකරණය කරන්න මේ "උගත්" පිරිස් ගන්නා හාස්‍යජනක උත්සාහයන් ඇත්තටම උපදවන්නේ හාස්‍ය නොව සංවේගයකි. තව ටික දිනකින් බත් කෑම දියවැඩියාවට නුසුදුසු බව මේ උදවියම කියනු ඇත. 

බොහෝ දියුණු රටවල රාජ්‍ය නායකයන්ට කිසිවකුගෙන් ලබා ගත හැකි පෞද්ගලික පරිත්‍යාගයක් සඳහා සීමාවක් ඇත. බ්‍රිතාන්‍ය අගමැතිට නම් එය ස්ටර්ලින් පවුම් 140 කි. ලංකාව ඌන සංවර්ධිත රටක් බැවින් එහි මෙලෙස සීමාවක් ඇත්දැයි මම නොදනිමි. තිබුණත් ලංකාවේ දේශපාලකයාටවත් ඔවුන් පසු පස යන පිරිසටවත් එහි වගක් නැත. ඔවුන්ට මොන දේත් සාධාරණීකරණය කිරීමට හේතු ඇත. මේ තත්වය ඛේදජනකය.   

ඔව්, ඔබ දේශපාලනය කල යුත්තේ මෙවන් පුද්ගලයන්ගෙන් ගහන පසුබිමකය. රාජපක්ෂවරුන් මේ හද ගැස්ම දශක දෙකක් පුරා මැනවින් වටහාගෙන ඇත. විපක්ෂ නායකවරයා ඔලමොට්ටල කතා කියන්නේ සහ අඳබාල ආකාරයෙන් හැසිරෙන්නේ ඔහුටත් රටේ ජනතාවගේ මන්ද මානසික පරිසරය ගැන යම් අවබෝධයක් ඇති නිසා යයි සිතමි. මේ අතින් මම රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කරමි. ඔහු කෙදිනකවත් මේ ජනතාවගේ අබුද්ධික ස්වරුපයෙන් අනිසි ඵල නෙලාගන්න ගියේ නැත. ඒ සඳහා ඔහුට හැකියාවක්ද නැත.

ජවිපෙ තම ගැලවුම්කරුවා බවට ජනතාව තුල සංකල්පයක් බිහිවෙමින් පවතිනුයේ මෙවන් වාතාවරණයකදීය. ජනහදට ආමන්ත්‍රණය කිරීමේදී ජවිපෙ සහ රනිල් වික්‍රමසිංහ අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් දෙපැත්තක සිටියත්, ඉහත මා සඳහන් කල බහුතර ලාංකිකගේ මානසිකත්වය වටහා ගැනීමේ හැකියාව අතින් ඔවුන් දෙපසම එකම ආකාරයේ දුර්වලකම් පෙන්වා ඇත. 

වසර දහස් ගණනක් හුරු වූ රාජත්වයෙන් තැලුම් කෑමේ ලාංකික මානසිකත්වය සුද්දාටවත් ප්‍රජාතන්ත්‍රවාදයටවත් යටපත් කිරීමට හැකිවී නැත. එය ඔවුන් තුල ජානගතව පවතී. වෛද්‍ය, ඉංජිනේරු, විධායක, ආචාර්ය, මහාචාර්ය ආදී පදවි තානාන්තර වලින්වත් මේ මානසිකත්වය දුරු කල නොහැකි බව සමාජ ජාලා තුලින් පවා දැක ගත හැක. 

"සමාජවාදියා" පිළිබඳව බහුතරයක් ලාංකික ජනතාව තුල ඇත්තේ පැහැදීමක් නොවේ. එය සාධාරණ-අසාධාරණ කරුණු රාශියක් මත පදනම් වේ. බොහෝ සමාජවාදී ව්‍යුහයන් කඩාගෙන වැටීම තුලද මේ අපැහැදීම සාධාරණීකරණය විය. ලංකාවේ සරසවි පද්ධතිය තුල සිප් හැදෑරු බහුතරයකටද ඇත්තේ සමාජවාදියා, විශේෂයෙන්ම ජේවීපීකාරය, පිළිබඳව ප්‍රසන්න හැඟීමක් නොවේ. මේ පිළිබඳව ජවිපෙ පුළුල්ව සිතා, තම රාමුව වෙනස් කරගත යුතුය. ඔවුන් මේ සම්බන්ධයෙන් දැනටත් යම් යම් පියවර ගෙන ඇති බව පෙනෙයි. එහෙත් ඒවා තව දුරටත් පුළුල් කල යුතුව ඇත.

සමාජයේ අති බහුතරයකට ආර්ථික-විදේශ-දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව දැනගැනීමට අවශ්‍යතාවයක් නැත. දේශපාලන මාර්ග සිතියම් හෝ මාර්ගෝපදේශ පිළිබඳව අසාවත් නැත. ඒ ගැන දැනගැනීමට වුවමනාවක්ද නැත.  ඔවුන් බොහෝ විට කරන්නේ දැන-උගත් අය ලෙස ඔවුන් විසින්ම ලේබල් ගත කල අතලොස්සක් කියන දේ පිළිගැනීමයි. මේ තත්වය වෙනස් කිරීමට දශක කිහිපයක් ගතවනු ඇත. එබැවින් හැකි සෑම අයුරකින්ම මෙම අතලොස්ස "බුද්ධිමත්" කිරීම ජවිපෙ සහ ඊට අනුගත කේඩරයේ මූලික කර්තව්‍යයක් විය යුතුය.

ඉහත සඳහන් කල අතලොස්සට ජවිපෙන් ඇසීමට බොහෝ දේ ඇත. ඒ අතර වියත්-අවියත් කරුණු කාරණා තිබිය හැක. නමුත් ඒ සැමටම ජවිපෙ විනිවිද පෙනෙන පිළිතුරු ලබා දිය යුතුය. 

"ජවිපෙ අතින් 88/89 කාලයදී සිදුවූ අපරාද පිළිබඳව ඔබේ මතය කුමක්ද?" ජවිපෙන් ජනතාව සදාතනිකව අසනා පැනය මෙයයි. මෑතකදී පැවති සාකච්චාවකදී ලාල් කාන්ත මහතා මීට දුන් පිළිතුර මම ඉහලින් අගය කරමි. 

අපි ඕනෑම දෙයක හොඳ-නරක විමසිය යුත්තේ එය සිදුවන රාමුවට සාපේක්ෂවය. යුද්ධයකදී සාමකාමී සිවිල් සමාජයක සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවේ. උදාහරණයක් ලෙස මනුෂ්‍ය ඝාතනයන්ට සහ විනාශ කිරීම්වලට පදක්කම්, ඇගයීම් සමග උසස්වීම් ලැබේ. මේ අනුව සිවිල් යුධ සමයකදී අප ඒ රාමුව තුල සිට එහි හොඳ නරක සෙවිය යුතුය. එම රාමුවෙන් පිටත වූ සමාජ-කාල අවකාශයකදී අදහස් දක්වන විට සිදු නොවිය යුතුදේ සිදුවූ බවත් එය අනාගතයේ නැවත සිදු නොවිය යුතු බවත් පිළිගෙන ප්‍රසිද්ධියේ ප්‍රකශ කල යුතුය. ලාල් කාන්තා මහතා සිදුකලේ එයයි. එතුලින් එබඳු සිදුවීම් නැවත නොවන්නට ජවිපෙ වගබලාගන්නා බවට මහජනතාව තුල විශ්වාසයක් ගොඩ නැගේ.  නෙල්සන් මැන්ඩෙලා පවා යම් කාලයකදී අද සමාජයේ මිනුම් දඬු වලින් ඉතා දරුණු ඝනයේ වූ අපරාද සිදුකර ඇත. මේ අදහස මීට පෙරද ජවිපෙ නායකයන් යම් යම් ආකාරයෙන් පලකලත් මෙතරම් පැහැදිලිව සහ ඍජුව එය පැවසූ අවස්ථාවක් මා අසා නැත. 

ජවිපෙට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට හෝ ආර්ථික මාර්ග සිතියම් සකස්කර ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාව ඇති නායකත්වයක් නැති බවට ඇතැමුන් තර්ක කරයි. මෙය හරයක් නොමැති හිස් කතාවක් බව මගේ හැඟීමයි. රටක මූලික අංශ පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හෝ ක්‍රියාත්මක කරවීම සඳහා පක්ෂ නායකයන්ට දැනුමක් තිබිය යුතුයයි මම නොසිතමි. ඔවුන්ට හැකියාව තිබිය යුත්තේ යමක් කල හැකි නියම පුද්ගලයන් නිවැරදිව හඳුනාගැනීමටයි. දැනට පවතින රජයේ නායකයන්ට නැත්තේද එම හැකියාවයි. මේ වන විටත් ජවිපෙ වටා මේ දැනුම, බුද්ධිය සහ හැකියාව ඇති පුද්ගලයන් ගණනාවක් එකතුවෙමින් සිටින බව පෙනෙයි. රාජ්‍ය පාලනය බාරගන්නා කණ්ඩායමට යම් යම් ක්‍ෂේත්‍රයන්හි බුද්ධිමය හිදැස් ඇත්නම් සහ ඒවා පිරවීමට වුවමනාවක් ඇත්නම්, ඒ සඳහා දායකත්වය ලබාදීම පුරවැසියාගේ යුතුකමකි. 

කෙසේ නමුත් ජවිපෙ සාමාන්‍ය ජනතාවට පත්‍ය වූ පැහැදිලි වැඩ පිළිවෙලක් ජනගත කල යුතුව ඇත. ඒ උදෙසා නැගෙන ගැටළු වාද-විවාද වලට ඍජුව පිළිතුරු දීමද ඔවුන්ගේ යුතුකම වී ඇත. උදාහරණයක් ලෙස 'පෞද්ගලික සරසවි පිළිබඳව ජවිපෙ මතය කුමක්ද?" යන්න මට සැමදා පවතින ගැටළුවකි. 

මේ සියළු කරුණු සම්පිණ්ඩනය කළහොත් මට කෙටියෙන් කිව හැක්කේ "ජවිපෙ, ජවිපෙන් මිදී ඉදිරියට යා යුතු බවයි". මා සිතන ආකාරයට ඉදිරියට යා යුත්තේ ජවිපෙ නොව ජාතික ජන බලවේගයයි. බොහෝ දෙනෙකුට එය තවමත් පෙනෙන්නේ ජවිපෙ කැටයමට උඩින් ගැසූ ස්ටිකරයක් ලෙස පමණි.  කොයි මොහොතේ හෝ ස්ටිකරය ගැලවී යාමට ඉඩ ඇතැයි මට වුවද සිතෙන වාර ඇත. මේ නිසා එය මහජනතාවට දැනෙන තරමට ජවිපෙන් ඈත් කල යුතුය. එවිට ජාජබ යනු බොහෝ දෙනෙකුට පාද නොපිලිස්සී ගොඩ විය හැකි වේදිකාවක් වනු ඇත. 


Saturday, 25 December 2021

සාගතයට පෙර


2020 වසරේ මුල් භාගයේදී දැනුම් තේරුම් ඇති කිහිප දෙනෙකුම එය පැමිණෙන බවට අනාවැකි පළකලෝය. එහෙත් මෙතරම් කලින් එය පැමිණෙතැයි ඔවුන්වත් සිතන්නට නැත. ආණ්ඩුවේ අනුවණ, අයහපත් තීරණ සාගතයේ අතික්‍රමණය ත්වරණය කළේය. දැන් ඒ ගැන හේතු සෙවීමෙන් ඵලක් නැත. 

ඈත අතීතයේ සිටම ලොව නන් දේශයන්හි සාගත ඇතිවිය. දේශගුණය සහ ස්වභාවික ආන්තික සංසිද්ධි, රටේ පාලකයන්ගේ වැරදි, ආක්‍රමණිකයන්ගේ බලපෑම ආදී හේතු කිහිපයක් සාගතයකට මග පාදයි. මෑත අතීතයේදී සහ වර්තමානයේදී සාගතයට ගොදුරු වූ ප්‍රදේශ ලෙස හයිටි, යේමන්, DRC, සිරියාව, ඇෆ්ඝනිස්ථානය, වැනිසියුලාව, දකුණු සුඩානය, බුර්කිනා ෆාසෝ, මාලි, නිජර්, නයිජීරියාව ආදී රටවල් හෝ එම රටවල යම් යම් ප්‍රදේශ හඳුන්වා දිය හැකිය. 

සාගතයකට මුහුණ දෙන්නේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක David Beasley මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දක්වයි.

"සාගතයක අයහපත් ඵල අවම කරගැනීමේ මූලිකම පියවර තම දේශයට සාගතයක් පැමිණෙන බව කල් තියා පිළිගැනීමයි. බොහෝ රාජ්‍ය නායකයන් මේ බව පිළිගන්නා විට පමා වැඩිය. එවිට අපට වුවත් කල හැක්කේ මිනිසුන් සාගින්නෙන් මියයාම අවම කරගත හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කිරීම පමණකි". 

පාලකයෝ නොයෙකුත් හේතුන් නිසා ළඟ පැමිණෙන සාගතය ජනතාවගෙන් පමණක් නොව සෙසු ලෝකයෙන්ද ආවරණය කරගැනීමට උපරිම උත්සහයක් දරති. එය ලංකාවට පමණක් සුවිශේෂී වූ කාරණයක් නොවේ. ඒ ඔවුන්ගේ ගෞරවයට හානි වේ යයි යන බිය නිසා විය හැක. එහෙත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක ජනතාවටයි. විපක්ෂ පවා මේ තත්වය යම් තාක් දුරකට සඟවන්න උත්සහ කරන්නේ තමන් බලයට පැමිණියත් කිසිවක් කල හැකිදැයි ජනතාවට සැකයක් මතුවන නිසාය. 

ලංකාව සාගතයක එළිපත්තේය. පාලකයා එය පිළිගත්තත් නැතත් ජනතාව එයට සුදානම් විය යුතුය. සාගතය මග හැරුනොත් එය බෝනස් එකකි. මේ නිසා පෙර සූදානම සෑම අතින්ම යහපත්ය.

පසුගිය සති තුනක පමණ කාලයේදී මම සියළුම වැඩ මධ්‍යයේ මේ පිළිබඳව ලොව විවිධ රටවල ආහාර වැඩසටහන් හා සම්බන්ධ මගේ මිතුරන් සමග අදහස් හුවමාරු කරගතිමි. මේ කිසිවෙක් ලාංකිකයන් නොවේ. මේ නිසා මට පාර්ශ්වික නොවූ අදහස් ලබාගත හැකිවිය.

ඔවුන් සියළු දෙනාම පාහේ මගේ මූලික අදහසට විරුද්ධවිය. 

"රටක පාලකයන් සාගතයට පෙර-සුදානම් වීමට ලැහැස්ති නැත්නම් ජනතාව මොනවා කලත් සාගතයෙන් විශාල පිරිසක් මිය යාම හෝ බරපතල මන්දපෝෂණ තත්වයකට පත්වීම වලක්වන්න බැහැ. හයිටිය මීට හොඳම උදාහරණයක්. දීර්ඝ කාලයක් අරාජික තත්වයක සිටි කුඩා සමුහයකට පමණයි මෙහිදී පැවැත්මක් ඇත්තේ. උදාහරණ ලෙස ඇෆ්ඝනිස්ථානයේ කදුකර ජනයා සහ නයිජීරියාවේ සමහර ගෝත්‍ර පෙන්වා දිය හැකියි".

එසේ නම් අප සාගතයට පෙර-සුදානම් වන ලෙස රජයට බල කළ යුතුව ඇත. 

සාගතයට මුහුණ දීමේ පෙර සුදානම පිළිබඳව මා වටහා ගත් කරුණු මෙසේ සාරාංශ කරමි.

රජයක් ගත යුතු පියවර 

රටේ ආහාර තත්වය පිළිබඳව ප්‍රමාණික තක්සේරුවක් කිරීම: 

පසුගිය රජයන් මෙන්ම මේ රජයද වරදවා ගත් මූලික කාරණයක් වන්නේ පවතිනා තත්වය පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැතිව කටයුතු කරන්න යාමයි. හම්බන්තොට වරාය සෑදීමේ සිටම ඔවුහු මෙය පටලවා ගත්හ. ආසන්නතම සිද්ධිය පොහොර ගැටළුවයි.

ඉදිරි වසර හෝ දෙක සඳහා රට අවශ්‍ය ආහාර වර්ග සහ ප්‍රමාණයන්, ඒවා දේශීයව නිපදවීමට ඇති හැකියාව සහ නොහැකියාව, ආහාර ආනයනය කිරීමට ඇති හැකියාව සහ නොහැකියාව, අනපේක්ෂිත සංසිද්ධි (ගංවතුර, නියං, කෘමි වසංගත ආදී) ඇතිවීමට ඇති අවදානම ආදී කාරණා පිළිබඳව ප්‍රමාණික තක්සේරුවක් ඉතා ඉක්මනින් කිරීම අත්‍යවශ්‍ය පියවරකි. ඉන් පසු පියවර සියල්ලම මෙම තක්සේරුවෙහි ප්‍රතිඵල අනුව තීරණය වෙයි.

යතාර්ථය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාවට ලබා දීම:

ඉදිරියේදී ඇතිවන තත්වය පිළිබඳව ජනතාව තුල යථාවාදී වැටහීමක් ඇතිකර ඔවුන් පැමිණෙන තත්වයට සුදානම් කිරීම ඉතා වැදගත්ය. දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලා කල රජයකට ගත හැකි අසීරුම පියවර මෙයයි. රජයට මෙය කිරීමට ඇති බරපතලම අපහසුව ඉන් පසු මහජන මුදල් නාස්ති කිරීමට ඔවුන්ට ඇතිවන බාධකයයි. මෙහිදී තනි තනිව රජයට සම්බන්ධ පුද්ගලයන් අතන මෙතන කියෙව්වාට වැඩක් නැත. රජයක් ලෙස ඔවුන් වගකීමකින්  යුතුව සාමුහික ප්‍රකාශනයක් මේ සම්බන්ධයෙන් කල යුතුය. 

දේශීයව සහ විදේශීයව නොමිළේ (හෝ අඩු මුදලකට) ලබා ගත හැකි සෑම විශේෂඥ සම්පත්දායකත්වයක් කෙරෙහි අවධානය යොමු කිරීම:

රටේ පවතින සීමිත සම්පත් ප්‍රමාණයකි. ඒ මගින් සියළු පුරවැසියන් ජිවත්කල යුතුය. මේ නිසා ආහාර අර්බුදයට මුහුණ දීමේදී සම්පත් ප්‍රශස්තකරණය (resource optimization) මූලික තැනක් ගනියි. මේ සඳහා පුළුල් විෂය ක්‍ෂේත්‍රයක නිපුණත්වය ඇති විශේෂඥයන් රාශියකගේ සහභාගිත්වය අවශ්‍යවෙයි.

ඉක්මණින් අස්වැන්න ලබා දෙන, දේශීය පරිසරයට සරිලන, එමෙන්ම ඒකක වර්ගඵලයකින් (උදා. එක හෙක්ටෙයාරයකින්) වැඩි අස්වැන්නක් ලබාදෙන බෝග වලට යොමුවීම: 

වට්ටක්කා, පුහුල්, කැකිරි, බතල, සහ නොයෙකුත් දේශීය අල වර්ග, දෙමුහුන් කොස්, දෙල් ආදී බෝග මීට උදාහරණ වෙයි. මීට අමතරව, විෂය පිළිබඳව දැනුම ඇති කෙනෙකුට මේ සඳහා ඉතා හොඳ උපදෙස් ලබා දිය හැක. 

දේශීයව ලබාගත හැකි ආහාර වලින් පමණක් යැපෙන කෘෂි-සත්ව වර්ග ඇති කිරීම:

ආනයනිත සත්ව ආහාර සඳහා විශාල විනිමයක් වැය වන අතර ඒ සඳහා  ඩොලර් ලබා දීම රජය විසින් සම්පුර්ණයෙන්ම අත්හිට වනු ඇත. 

මුඩුබිම්වල ඒවාට සුදුසු බෝග වගා කිරීම හෝ සත්ව ගොවිපලවල් ඇති කිරීම: 

වරක් කසඛස්ථානු කෘෂි විද්‍යාඥයෙක් මට පැවසුවේ මේ ලොව මුඩුබිම් කියා දෙයක් නොමැති බවයි. ඕනෑම බිමකට සරිලන බෝගයක් ඇත. එය නිවැරදිව තෝරාගත් විට මුඩුබිමක් තවදුරටත් මුඩුබිමක් නොවනු ඇත.

කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සහ බෙදා හැරීම සම්පුර්ණයෙන්ම රජය අතට ගැනීම:

ගොවිබිමේ සිට මුළුතැන් ගෙට එන ගමනේදී ආහාරවලින් 40% අධික ප්‍රමාණයක් විනාශ වෙයි. මෙයට පෞද්ගලික අංශය අතින් සිදුවන නොසැලකිල්ල මෙන්ම හිතාමතා සිදුකරන නාස්ති කිරීම්ද බලපායි. මේ නිසා කෙටි කලකට හෝ ආහාර බෝග මිලදී ගැනීම සහ බෙදා හැරීම (සකස්කිරීමද ඇතුළුව) රාජ්‍ය ආරක්ෂක අංශ යටතට පත්කිරීම සුදුසුය. මේ සඳහා ප්‍රවාහන, ඇසුරුම්, සැකසුම් ආදී සේවා පෞද්ගලික අංශයෙන් රජයේ මැදිහත්වීම යටතේ ලබාගත හැක.

අස්වැන්න වැඩි කර ගත හැකි සියළුම ක්‍රමවේද වෙත අවධානය යොමු කිරීම:

රසායනික, කාබනික වගාවන්ට මෙන්ම ජාන තාක්ෂණය, හයිඩ්‍රෝෆොනික් ආදී සියළුම වගා සහ වාරි ක්‍රමවේද වලට යොමුවීම ඉතා වැදගත්ය. මෙහිදී පාරිසරික ගැටළුවලට වඩා ආහාර නිෂ්පාදනයට මුල් තැන දීමට සිදුවන බව සැලකිය යුතුය. 

ලෝක ආහාර වැඩසටහන සමග කල් ඇතුව සාකච්චා කිරීම:

සාගතයක් ඇතිවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සහ ලබාගත හැකි සහන පැකේජ පිළිබඳව කල් ඇතුවම එක්සත් ජාතීන්ගේ අදාළ සංවිධාන සමග සාකච්චා කර යම් එකඟත්වයකට පත්වීමෙන් බොහෝ ගැටළු යම්තාක් දුරකට සමනය කරගත හැක. 

රජය අවංක වීම:

ඉහත කරුණු කුමක් වුවත් රජයට ජනතාව වෙත වගකීමේ අවංක චේතනාවක් මේ අවස්ථාවේදීවත් නොමැති නම් එය ජනතාවගේ දුක්බර ඛේදවාචයක් වනු ඇත. 

ජනතාවගේ පසින් කල හැකි දේ 

සරළ, දේශීයව ලබා ගත හැකි ආහාරවලට හුරුවීම: උදා: තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වලින් සම්පුර්ණයෙන්ම වලකින්න. 

අවම ආහාරයෙන් සැනසීම: අප බොහෝ විට අවශ්‍ය පමණට වඩා වැඩි ආහාර වේලක් ලබාගනී. ආහාර වේල ප්‍රතිව්‍යුහගත කරන්න. 

ආහාර නාස්තිය සම්පුර්ණයෙන්ම නැවත්වීම: නිවසේ හෝ උත්සයයකදී අවශ්‍යම වන ආහාර පාන පමණක් සකස් කරගන්න.

මාංශමය ආහාර අවම කිරීම: මාංශ ආහාර කිලෝවක් සඳහා නිර්මාංශ ආහාර කිලෝ 10-20ත් අතර ප්‍රමාණයක් වැයවේ.

ඇති කුඩා ඉඩකඩක වුවත් හැකි සෑම බෝගයක්ම වගා කිරීම: පෝච්චියක මිරිස්, වම්බටු, බණ්ඩක්කා, තක්කාලි ආදිය එක ගහක් බැගින් හෝ වවාගන්න.

අසල්වැසි හුවමාරුව: ඔබ වවනා බෝග අසල්වැසියා සමග හුවමාරු කරගන්න. වෙනස් බෝග වැවීම සඳහා අසල්වැසියා සමග එකඟතාවයකට පැමිණෙන්න.

මාස ගණනකට ආහාර රැස් කරගැනීමෙන් වැලකීම: බොහෝ රටවල සාගතය ව්‍යසනයක් වන්නේ ඇති හැකි කිහිප දෙනෙක් විශාල ආහාර ප්‍රමාණයක් ගොඩගසා ගැනීමට යාමෙනි. ආහාර රැස්කිරීම වෙනුවට ආහාර වගා කරගැනීමට අවධානය යොමු කරන්න.

විකල්ප ආහාර වෙත අවධානය යොමුකිරිම: පරිප්පු වෙනුවට ගැට ලාවුළු හීනියට කපා සැකසීම, ගහල අල මාළුව වැනි වෙනදා කන්න අකමැතිවූ ආහාර වෙත අවධානය යොමු කරන්න.

ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවලට අවධානය යොමු කිරීම: වෙනදා විසි කරන ඉතිරිවන බත් ටික වේලා තබා ගන්න. මෙබඳු ක්‍රම රාශියක් ඔබට Youtube හරහා ඉගෙනගත හැක. 

සංත්‍රාසයට (panic) පත් නොවීම: ලංකාවේ ජනතාව සංත්‍රාස-මිලදීගැනීම (panic-buying) යම් වියරු ස්වාභයක් දක්වා ප්‍රදර්ශණය කරන බව බොහෝ අවස්ථාවල අප දැක ඇත. මෙමගින් සිදුවන්නේ සමාජය තව තවත් විපතට පත්වීමයි. අතේ ඇති සියළුම මුදල් එකවර වැය කර ආහාර මිලදී ගැනීමෙන් වලකින්න. 

ආත්මාර්ථකාමී නොවීම: සියල්ලෝම ජිවිතයට ආදරය කරති. මේ නිසා ජීවිතය පිලිබඳ අනතුරකදී මිනිසුන් නොමිනිසුන් බවට පත්වෙන අවස්ථා ඇත. එබැවින් සාගතයකදී ඔබේ ආහාර යම් පමණකට නැති බැරි අය සමග බෙදාගන්න. තමා පමණක් රැකෙන්නට ආහාර ගොඩගසාගෙන සිටීම බඩගින්නේ වියරු වූ මිනිසුන් වෙතින් මරණය ඉල්ලා පළකරන දැන්වීමක් විය හැක. 


 



Sunday, 19 December 2021

ඒකයි ලාංකිකයා වෙනස් කියන්නේ


ගෑස් ලීක්වීම සහ අහිමි වූ ජීවිත, ලංකාවේ බොහෝ දෙනෙකුට "අනේ අනිච්චං - වෙච්ච දෙයක්" ප්‍රවෘතියක් පමණක් බව කතා බහ කරන අයගේ හඬ තුලින් (tone) පිළිඹිබු වෙයි. දියුණු රටක නම් ගෑස් සමාගම් අයිතිකරුවන් සිපිරි ගෙදරය. අදාළ ඇමති තනතුරෙන් ඉල්ලා අස් වෙලාය. සමහර විට ආණ්ඩු පෙරලියක්ද විය හැක. 

එහෙත් ලංකාව වෙනස්ය. ආණ්ඩුව ගොළු, බිහිරි, අන්ධ අඳබාලයන් සේ කටයුතු කරයි. විපක්ෂයට සහ ආණ්ඩු විරෝධී "මධ්‍යස්ථ" මතධාරීන්ට  එය මයික් තැලීමට හොඳ මාතෘකාවක් පමණි.

මෙවන් බරපතල තත්වයක් සිදුවන විට ඊට එරෙහිව නීතියේ සරණ පැතීම ජනතාවගේ අයිතිවාසිකමකි. නොසැලකිලිමත්කම සහ ව්‍යාපාරික ලාබ වෙනුවෙන් ජිවිත බිලි දුන් වගකිව යුත්තන්ට දඬුවම් ලබා දී නැවතත් මෙබඳු තත්වයක් ඇතිවීමට ඉඩ නොතැබීම ජනතාවගේ යුතුකමකි. 

එහෙත් ලාංකික ජනතාවට ඒ ගැන වගේ වගක් නැත. තම යුතුකම් - අයිතිවාසිකම් නොදත් ඔවුහු .... ඔහේ ජීවත්වෙති.

ඉන්දියාවේ, බංගලාදේශයේ හෝ පකිස්ථානයේ ජනතාවද මෙලෙසමය. ඔවුන්ද බහුතරයක් බුද්ධිහීනයන්ය. නමුත් මේ රටවල් තුනේම මෙවන් අවස්ථාවක ජනතාව දැනුවත් කරමින් සාමුහිකව වරදට එරෙහිව නීතිය ඉදිරියට යාමට ඉදිරිපත් වන මානව හිතවාදී බුද්ධිමතුන් අඩුම ගණනේ දහදාහක්වත් රටේ ඇත. නමුත් ලංකාවට ඇත්තේ එබඳු එකම එක පුද්ගලයෙකි.

ඒකයි ලාංකිකයා වෙනස් කියන්නේ. 

- නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් තැබූ සටහනකි. 

Friday, 10 December 2021

හෝරාවේ තේමාව-6: රට බාර දිය යුත්තේ කාටද?


මේ penultimate හෝරාවේ තේමාවයි. තව එක ලිපියකින් මම මේ පෙළ අවසන් කරමි. 

ලිපියේ ශීර්ෂය අර්ථවත් පැනයක්දැයි මට දැන් සැක සහිතය. මෙය තව ටිකක් වෙනස් විදියකටද ඇසිය හැක.

"රට බාරගෙන කල හැක්කේ කාටද?"

මේ පැන දෙකටම දැන් මට ඇත්තේ මහා ඕලාරික පිළිතුරකි.

"අනේ මන්ද".

මීට වසර එකහමාරකට පමණ පෙර මට මේ පැන දෙකටම යම් නිශ්චිත පිළිතුරක් තිබුණි. එනම් ජනතා විමුක්ති පෙරමුණයි.

ඉන් පසු ගතවූ දහඅට මාසයේදී සිදු  වූ වෙනස කුමක්ද? 

ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳව මගේ පැහැදීම දිනපතා වැඩි විය. දශක තුනක් පමණ මා ඉතා අප්‍රිය කල මේ පක්ෂය කෙමෙන් කමෙන් වඩාත් නම්‍යශීලී පුළුල් දැක්මක් සහිත මාවතකට අවතීර්ණ වන බව දකින්නට ලැබෙයි. ඔවුන් රැඩිකල් දේශපාලන පක්ෂයක සිට සවිමත් මුලික දේශපාලන ධාරාවක් (mainstream party) ලෙසට වර්ධනය වී ඇත. ඔවුන්ගේ දෘෂ්ඨිය රටේ මූලික ගැටළු කරා නාභිගත වීම පැහැදිලිවම පෙනෙන්න තිබේ.

එසේ නම්?

නමුත් ජවිපෙ පිබිදීමේ වේගයට වඩා අධි ත්වරණයකි රටේ ආර්ථිකය ගැඹුරු ආගාධයක් දෙසට ඇදී ගියේය. මේ වන විට ලංකාව පවතින බැරෑරුම් තත්වය බොහෝ දෙනෙකුට අවබෝධවී නැත. අවබෝධ වුවා කියා සිතන අයටත් එහි දිග පළල ගැඹුර ගැන නිසි වැටහීමක් නැතැයි මට සිතේ. මේ ලිපිය අද ලිවීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මන්ද තව දෙමසකින් මෙය ලීවා නම් එවන විට ඔබට මේ ලිපි කියවීමට තරම් මානසික ස්ථායිතාවයක් නොතිබෙනු ඇත.

මට සැම්බියානු පාෂ්ටර් වරයෙකුගේ කියමනක් සිහියට නැගේ.

"අන්ධයෝ භාග්‍යවන්තයෝය. මක් නිසාද යත් ඔවුන් මරණය අභියසදීත් මරණයේ දූතයා නොදකින හෙයිනි"

ඔබ බොහෝ දෙනෙක් භාග්‍යවන්තයෝය.

ලංකාව එක් අවස්ථාවකදී ප්‍රත්‍යවර්ත (නැවතත් රිවස් කල හැකි) සීමාව පසු කළේය. මම ඒ දිනවල ඒ පිළිබඳව පෝස්ට් කිහිපයක්ම පළ කලෙමි. දැන් ගැසට් රිවස් කලාට රට රිවස් කරනු නොහැකිය. ජවිපෙ නොව ශක්‍රයාගේ පුත් වයිමා ආවත් එය කල නොහැක. රටේ ආර්ථිකයේ සැබෑ තත්වය දන්නා කිහිප දෙනා මේ දේ හොඳින් වටහාගෙන ඇත. 

ආණ්ඩු පක්ෂය එකම අවුල් ජාලයකි. පළපුරුද්දක් නැති පුද්ගලයෙක් ඉතා බාරදුර වගකීමකට පැරෂුට් කිරීමෙන් ඔහු උම්මත්තකයෙකු විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 2010 වසරේ SF ජනාධිපති උනා නම් සිදුවන්නේද මෙයම බව මට දැන් වැටහෙයි. නමුත් වසර 11ට පසු අද ඔහු දැනුමෙන් තරමක් වියපත්ව ඇත. ආණ්ඩුවේ සිටින බහුතරයක් මෙලෝ බුද්ධියක් නැති අඳබාලයන් බව සිහි බුද්ධියෙන් බලන ඕනෑම අයෙකුට පෙනෙයි. තමන් රාජපක්ෂලා ඉදිරියේ කැපී පෙනීම සඳහා ඔලමොට්ටල කතා පවසමින් විගඩම් කරනවා හැරෙන්න ඔවුන්ට රටේ පවතින අනතුර පිළිබඳව කිසිම වැටහීමක් නැත. එහි සිටින සුසිල්, දිනේෂ්, අමරවීර, දයාසිරි වැනි බුද්ධිමත් (මම එම වදන බැරිවීමකින් යෙදුවක් නොවේ) දේශපාලකයන් යන එන මං නැතිව දේශපාලන අනාථයන් බවට පත්ව සිටියි. සමහර විට මේ අතරමං වීම තාවකාලික විය හැක. 

සජබයේ බොහෝ දෙනෙකුටද මේ අවස්ථාවේ ඇත්තේ "මෝඩ චූන්" එකක් බව ඔවුන්ගේ කතාවලින් සහ අංග චලන භාෂාවෙන් තේරෙයි. ඔවුන්ට මේ අවස්ථාවේ විය හැකි දරුණුම දේශපාලන මරණය නම් කුමක් හෝ හේතුවක් නිසා රටේ බලය ලැබීම බව තේරුම් ගන්න තරම්වත් හැකියාවක් මේ කෑගහන බොහෝ දෙනෙකුට නැත. ඒ අතරින් හර්ෂ, එරාන් සහ පාඨලී වැනි කීප දෙනෙක් යථාර්තය පැහැදිලිවම තේරුම් ගෙන ඉතා ප්‍රවේශමෙන් වචන හසුරුවන බව පෙනී යයි. සජබයෙන් පත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇත්තේ කඳ පමණකි. 

එජාපය යනු මළ ගෙදරකි. රනිල් පමණක් අවමගුල් නිවසේ මනාලයා බවට පත්වී ඇත. ඔහුට තරම් සිදුවන්න යන දේ පිළිබඳව ඉව කල හැකි වෙනත් දේශපාලකයෙක් රටේ ඇත්දැයි මම නොදනිමි. නමුත් ඔහු ඒ දෙස බලා මහත් වින්දනයක් ලබන බව මට පෙනෙයි. ඒ රනිල්ට උරුම වූ මානසික තත්වයයි.

මේ අනුව පාර්ලිමේන්තුව තුල සිටින පිරිසගෙන් රට පත්ව ඇති අගාධයෙන් අනුවණ වින්දනයක් ලබා නොගෙන යථාර්තය දකින්නේ ජවිපෙ තිදෙනා සහ දෙමළ පක්ෂවල මන්ත්‍රීවරු කිහිපදෙනෙක් බව මම දකින යථාර්තයයි. 

මේ තත්වය මත මට දැනෙන කාරණය නම් රට සම්පුර්ණයෙන්ම විනාශ වී නොයාමට නම් කල යුතු එකම දේ ජනතාව දැනුවත් කිරීමයි. මෙතෙක් අප ජනතාව දැනුවත් කල යුතුව තිබුණේ නිවැරදි පාලකයා තෝරා ගැනීම පිළිබඳවයි. නමුත් දැන් එය කල යුත්තේ වෙනත් කාරණයක් සඳහාය. ඒ කවුරු ආවත් ඉතා කටුක කාලයක් ගෙවිය යුතු බවත් එය බාරගෙන නැණවත්ව ඉවසා වදාරන ලෙසටත්ය. වැඩි පඩි, සහන පැකේජ, නොමිලේ අරක මේක තියා වේල් දෙකක් ආහාර ගැනීමද මධ්‍යම-මධ්‍යම පාංතිකයන්ට පවා ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. කිරි තේ එකක් ඉහල මධ්‍යම පංතියේ උදෑසනට පමණක් සීමා වනු ඇත. මස් මාංශ මෙන්ම වෙනදා සාමාන්‍ය වූ ආහාර වේලක් පවා බහුතරයකට අකැප වනු ඇත. වාහන භාවිතය අති පොහොසත් පැලැන්තියකට සීමා වනු ඇත. 

"ඔබ විසින්ම වැපුරූ බීජ ඉවසීමෙන් නෙලා ගන්න".

ජවිපෙට රට යා යුතු බව මගේ හැඟීමයි. ඒ ඔවුන් මේ අවස්ථාවේ ඇති එකම විසඳුම නිසාවෙනි. පැහැදිලිවම අනාගතයේ දිනක ඔවුන්ට වඩා යහපත් පිරිසක් ලැබෙනු ඇත. එතෙක් ඔවුන් පෙන්වන මාර්ගයේ යා යුතුව ඇත. මා ඉතා ගරු කරන නාගනන්ද වැනි මහත්වරුන්ද මීට එකතුවිය යුතුය. එසේම ජවිපෙ මේ ඉහල බුද්ධිමය වටිනාකමක් ඇති ශක්තිමත් මිනිසුන් ඇගයීමට භාජනය කලයුතුය. ඔවුන්ගේ හැකියාව උපරිමයෙන් නෙලා ගත යුතුය. අනෙක් අතට ලංකාවේ බිහි වූ විකල්ප නායකයන් ජවිපෙ සමග නොගැටී, ඒ වෙනුවට යම් එකඟතාවයකට පැමිණිය යුතුය. ඔවුන් සියලු දෙනාම පාහේ මහජනතාව පිබිදවීම සඳහා යම් වැඩ කොටසක් ඉටු කලෝය. 

ඉදිරියේදී ඇතිවන ඉතා සංකීර්ණ ආර්ථික බිඳ වැටීම තුල ජවිපෙන් බාහිර වෙනත් විකල්ප සෙවීම නුවණට හුරු කාරණයක් නොවන බව මගේ වැටහීමයි. එසේ කල හැකිනම් ඉතා හොඳය. නමුත් වසර කිහිපයක් තුල අති දුෂ්කර පරිසරයක් තුල ලංකාව පුරා සවිමත් ක්‍රියාන්විත ජාලයක් (operational network) සෑදීම යථාර්තයක් නොවන බව මට පැහැදිලිය. 

ජවිපෙ යනු ඇලඩින්ගේ පුදුම පහන නොවන බව ජනතාව තේරුම් ගත යුතුය. මා ජවිපෙන් බලාපොරොත්තුවන හෝරාවේ එකම පැලැස්තරය ආර්ථික ව්‍යසනය සමාජ ව්‍යසනයක් බවට පත්වීම වලක්වා ගැනීමයි. ඉන්පසු අපට ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳව බොහෝ දේ සංවාදයට බඳුන් කල හැක. 



 


Wednesday, 1 December 2021

හෝරාවේ තේමාව-5: යා යුතු මග අභියස


ලංකාව මේ වන විට ආර්ථිකය අතින් මෑත ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය අභියස සිටියි. ඒ බව ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් හරහා අඟුණකොළපැලැස්සේ හේන් ගොවියා දක්වා බහුතරයක් වටහා ගෙන ඇති බව ඔවුන්ගේ කතා බහෙන් මෙන්ම අංග චලනයෙන්ද (body language) පැහැදිලිවේ. එය තවමත් වටහා නොගත් අතලොස්ස ගැන අප වද විය යුතු නැත. එම ආර්ථික අවපාතය පිළිබඳව තවදුරටත් කතා කිරීමෙන්ද පලක් නැත. 

ආර්ථික ව්‍යසනයක් බොහෝ විට කෙලවර වන්නේ සාමාජීය ව්‍යසනයකට දොර විවර කරමිනි (මෙහි අනෙක් පස සිදු වූ අවස්ථාද තිබේ; රුවන්ඩාවේ සහ බොස්නියාවේ). සාමාජීය බිඳ වැටීමක් ඉතා බියකරුය. එහිදී නීතියේ ආධිපත්‍ය සම්පුර්ණයෙන්ම බිඳ වැටෙන අතර සමුහයක එකිනෙකා කෙරෙහි වූ දයාව, කරුණාව සහ ගරුත්වය වියැකී යයි. සමාජ ව්‍යසනයක් ඇරඹුණු පසු එය ප්‍රතිවර්තනය කිරීම ඉතා දුෂ්කරය. සමහර විට ඊට ශතවර්ෂයකට වඩා කල් ගතවිය හැක. එසේම එය විශාල ලේ වැගිරීමකින් අවසන් විය හැක (උදා. ප්‍රංශ විප්ලවය). මේ නිසා සාමාජීය බිඳ වැටීමට සෑහෙන දුරක් තිබියදී ගමන ඇරඹිය යුතුය. 

මේ ගමන ඇරඹීමට විශාල පිරිසක් එකතු වීම අනිවාර්ය නොවේ. අවශ්‍යවන්නේ තර්ක ඥානයෙන් පරිණත කුඩා කණ්ඩායමකි. කෙනෙකුගේ තර්ක ඥානය කාරණා කිහිපයක් මත රඳා පවතී. බුද්ධිය, ස්වභාවික සහ සාමාජීය පරිසරය පිළිබඳව ඇති පුළුල් දැනුම, පාලනය කරගත හැකි මට්ටමකට අඩු කල මානසික අවස්ථිතිය සහ මානසික සංයමය මින් ප්‍රධාන වෙයි. 

අප සියළු දෙනාටම යම් පමණකට මානසික අවස්ථිතියක් ඇත. එනම් තමන් දරන මතයෙන් පිටතට ගොස් සිතීමට මනසින් නැගෙන ප්‍රතිරෝධයයි. බුද්ධිය (උගත්කම නොව) මුහුකුරා යත්ම මෙම අවස්ථිතිය අඩුවී යයි. අඩු මානසික අවස්ථිතිය වැඩි මානසික සංයමයක් ඇති කරයි. සමහරුන්ට උත්සාහය අරඹා දින කිහිපයකින් මානසික අවස්ථිතිය ඉතා පහල මට්ටමකට ගෙන ආ හැකි අතර, සමහරුන්ට දශක කිහිපයක් ගියද එය වෙනස් කිරීම අසීරු වෙයි. මානසික අවස්ථිතිය අඩු කිරීම යනු අනෙකාගේ ඕනෑම අදහසක් පිළිගැනිම නොවන බව තරයේ වටහා ගන්න. 

මූලික දේශපාලන කඳවුරු දෙකේ දේශපාලකයන් සියළු දෙනාම මේ වන විට අත්හදා බලා ඇති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම අසමත් බවට අත්දැකීම ජනතාවට ලැබී ඇත. අත්දැකීම ලැබුණාට  මේ වන විට කී දෙනෙක් එය ධාරණය කර ගත්තාද යන්න ගැටළු සහගතය. එහෙත් එය බහුතරයකට වටහා දීමට දැන් ඉඩකඩ ඇත. 

ඊළඟ ලිපියට පෙර මම ඔබට නැවතත් යමක් කියමි. මේ කියැවෙන්නේ ඔබගේ ගමන ගැනයි. එහි සාර්ථකව පිය නැගීමට ඔබට අත්‍යවශ්‍ය වූ සාධකයක් ඇත. ඒ මානසික සංවරයයි.