මා මේ ලියන්නේ මට කිසිසේත්ම අවබෝධයක් නොමැති කරුණක් සම්බන්ධවයි.
ගිය සිකුරාදා අප සරසවියේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකු අතර ඇතිවූ සතුටු සාමිච්චියකදී ඊජිප්තුවේ මූලික පිරමිඩ තුන පිළිබඳව කතා බහක් ඇතිවිය. එහිදී එක් මහාචාර්යවරයෙක් කියා සිටියේ මෙම පිරමිඩ තුන මගින් මානවයාට ගෝචර නොවන යම් බලවේගයන් අතර අන්තර් සම්බන්ධිත සංවේදනයක් සිදුවන බවයි. මම සාමාන්‍යයෙන් මෙවැනි අද්භූත කතා පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුවත් සංවාදය රසවත් වූ බැවින් අවධානය යොමු කරගෙන සිටියෙමි.
මෙහිදී කිහිප දෙනෙකුගේම මතය වුයේ මෙම ශිෂ්ඨාචාරය පැවති වසර 3000 පමණ කාලය තුල (මෙම ශිෂ්ඨාචාරය අවසන් වී තවමත් ගතව ඇත්තේ වසර දෙදහසක් පමණ වේ) කිසිදු පාලකයෙක් මෙම පිරමිඩ තුනට යන්තමින් හෝ සමාන ප්‍රමාණයෙන් වෙනත් පිරමිඩ සාදා නැති බවයි. ඊට හේතුව මේ සන්නිවේදන ජාලයට එයින් බලපෑමක් ඇතිවිය හැකි වීම බව ඔවුන්ගේ මතය විය. මෙම සන්නිවේදන අද දක්වාම කෙරෙන බවත් තව වසර දහස් ගණනක් එලෙසම පවතින බවත් ඔවුන්ගේ මතය විය.
මගේ පුදුමයට මෙන් එතන සිටි සියලුම වියතුන් පාහේ මේ කතාව තරයේ විශ්වාස කරන බව මට වැටහුණි. ඊළඟට ඇසුණු කතාවෙන් මගේ පුදුමය විශ්මයක් බවට පත්විය.
මුලින් කතාව පටන් ගත් මහාචාර්යවරයා පැවසුයේ මෙම පිරමිඩවල වඩා සාර්ථක වූ නිර්මාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවයි. ඒවායේ ව්‍යුහයන්ගේ (structures) හැඩය සහ මාන අනුව ඇතිවූ වැඩි කාර්යක්ෂමතාවය නිසා ඒවා වඩා කුඩාවට සකසා අවශ්‍ය කාර්ය කරගැනීමට හැකිවූ බව ඔහුගේ අදහස විය. මට වැරදීමකින් ශ්‍රී ලංකා යන වචනය ඇසුනා දෝ යයි සිතමින් සිටින විට ඔහු ඉතා අපහසුවෙන් තම දුරකතනයේ වූ ගූගල් සෙවුම ආශ්‍රයෙන් (යැයි මම සිතමි) රුවන්මැලි සෑය, උච්චාරණය කරද්දී මට නොවැරදුනු බව පසක් විය. එතැන සිටි සියලු දෙනාම මා මැලේසියානුවෙක් යැයි සිතා සිටි බැවින් ඔවුන් මගෙන් මේ ගැන කිසිවක් නොවිමසීය.
අද දින ලංකාවේ විද්‍යුත් පුවත්පත් බලන විට දුටු සඳහිරු සෑය හා සම්බන්ධ පුවත එකවරම මගේ මතකය වසර දෙක තුනක් පසුපසට ගෙන ගියේය. දිනක් මගේ දුරකතනයට ලංකාවෙන් ඇමතුමක් ලැබුණි. එකල අපි මැලේසියාවේ පදිංචිව සිටියෙමු. දුරකතනයෙන් ඇමතු මහතා (මට ඔහුගේ නම මතක නැත) ඇසුවේ ලංකාවේ ඉදිවන රණවිරු මහා සෑය මගින් අනුරාධපුරයේ ඇති මූලික දාගැබ් තුනේ පිහිටීමේ හැඩ තලයන්ට හානියක් නොවන්නේද යන්නයි. සාමාන්‍යයෙන් මෙවැනි කරුණු දේශපාලනය හා සම්බන්ධ වන බැවින්ද මා ඇත්තටම ඒ ගැන කිසිවක් නොදැන සිටි බැවින්ද එම මහතා තුන් හතර විදියකින් ඇසූ එකම පැනයට මම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කලෙමි.