ඒ 1991 වසරේ මුල් කාලය වන්නට ඇතැයි මම සිතමි. ජේෂ්ඨ ජෝර්ජ් බූෂ්ගේ ඇමරිකානු බල ඇණි බෑග්ඩෑඩ් නුවරට ආසන්න වෙමින් තිබුණි. මට මතක ඇති ආකාරයට මෙය Operation Desert Storm ලෙස කේතනය කර තිබුණි. අපි බදාදා දින කොළඹ සරසවියේ PLT ශ්‍රවනාගාරයේ ආචාර්ය (එවකට) නලින් ද සිල්වා මහතාගේ දෙවන වසර ගණිතය දේශනයට සහභාගී වෙමින් සිටියෙමු.
"තව ටික දවසකින් මුළු අරාබියම යුද්දෙට පැටලෙනවා. මුස්ලිම් රටවල් හැමෝම සදාම් හුසේන්ට සහයෝගය දෙනවා. ඊට පස්සේ ඇමරිකාව තෙල් ලිං වලට බෝම්බ දානවා. න්‍යෂ්ඨික පහර දීම් සිදුවෙනවා. ලෝකෙම බලශක්ති අර්බුදයකට යනවා. එතකොට අපි හැමෝටම වෙන්නේ ආයෙමත් බර කරත්තෙන් යන්න. අන්න එතන ඉඳන් අපි අපේ හෙළ ජාතික ගමන පටන් ගන්නවා"
ඔහු යෙදූ වදන් හරියටම මතක නැතත් මේ නලින් ද සිල්වා ඇදුරුතුමාගේ දේශනයේ සාරාංශයයි.
ඉන් පසු සුපුරුදු පරිදි එතුමාගේ නිරන්තර "බයිට්" එකක් වූ මා වෙතට ඇඟිල්ල දිගු කල ඔහු "තමුසේ මොකද මේ ගැන කියන්නේ" යයි ගෙරවිලි හඬින් ඇසීය.
නලින් ද සිල්වා මහතා බොහෝ විට සිය තර්ජනාංගුලිය එල්ල කරන්නේ නොසිතන වෙලාවකය. මෙහිදීද ඉරාකය පිලිබඳ සිහින ලෝකයක සිටි මම "තව දවස් තුනකින් විතර සදාම් යටත් වෙනවා පූසා වගේ. එතැනින් ඔය යුද්දේ ඉවරයි" කියා ඇඟට පතට නොදැනීම කිව්වෙමි.
"ඔව් තමුසෙට එහෙම වෙනවා නම් හරි සන්තෝස ඇති. ජාතිය ගැන කැක්කුමක් නැති ................" ඔහු නිතරම මට ගරහන යෙදුමක් සමග දත් මිටි කමින් තම වැකිය අවසන් කළේය. ඒ එතුමාගේ හැටිය. ඒ පිළිබඳව මට එකලද කිසිඳු සිත් අමාරුවක් ඇති නොවීය. ඇත්තෙන්ම මට එය විනෝදජනක විය.
එදා මා කිසිවක් පිළිබඳව ගැඹුරින් නොසිතා පළකල අනාවැකිය ඒ ලෙසින්ම සඵල විය. මාධ්‍ය විසින් ජන මනස මොට කර දැමූ අද වැනි දිනක නම් මෙය ප්‍රසිද්ධ නැකැතියෙක් වීමේ ඉහලම සුදුසුකමක් වන්නට තිබුණි.
ඇත්තෙන්ම මා නොසිතා කිව්වත් ඒ අවස්ථාවේ පැවතුණු මැදපෙරදිග දේශපාලන ගතිකය විශ්ලේෂණය කරන්නෙකුට මෙම අනාවැකිය පහසුවෙන් කීමට හැකියාව තිබුණි. ඇමරිකානු යුධ ශක්තිය, සෞදිය, කුවේටය, අරාබි එමීර් රාජ්‍ය සහ කටාරය වැනි රටවල තිබු ඇමරිකන් ගැති බව, ඉරානය හා ඉරාකය අතර තිබූ විරසකය ආදී කාරණා මත මුස්ලිම් ලෝකයේ එකමුතුවක් කිසිසේත්ම සිදු නොවීම සාමාන්‍ය දැනීම විය.
ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ක්‍රමවේදයට (මතවාදයට නොවේ) එරෙහිව දියත් කල සටනේ පෙරමුණේ රාළ කෙනෙක් වුවත් මම එතුමාගෙන් ලද දැක්ම අදටත් ඉහලින්ම අගය කරමි. එය මට වෙන කවරෙකුගෙන්වත් මෙතෙක් ලැබී නැත. එහෙත් අවාසනාවන්ත ලෙස එතුමා තුල වූ තම මතවාදී මොඩලයෙන් පිටත ලෝකය ගැන නොවිමසීමේ සහ නොඉවසීමේ ගතිගුණය ඔහුගෙන් සමාජයට ලැබීමට තිබූ බොහෝ දේ වැලක්වීය. ඒ වෙනුවට ඔහු වැඩි පිරිසකගේ හාස්‍යට ලක් වූ අතර සමහර දෙනෙකු අතර පුහු වන්දනීය තත්වයකට පත්විය.
දේශීය හෝ ගෝලීය තලයේ සිදුවන වෙනස් වීම් කිසිඳු විශ්ලේෂණයකින් තොරව තම මොඩලය වෙනුවෙන් සකසා ගැනීමේ පුරුද්ද එතුමාට කොහෙන් ලැබුණාදැයි මට සිතා ගත නොහැක. රජරට වකුගඩු ගැටළුව (CKD) සම්බන්ධයෙන් නාථ දෙවියන් සම්බන්ධ කරගැනීමත් මෙබඳුය. මට මතක ඇති ආකාරයට මේ ගැන මුලින්ම පවසන්නේ කැළණිය සරසවියේ කථිකාචාර්යවරියකි.
ඒ කාලයේම මම මේ පිළිබඳව බ්ලොග් සටහනක් ලියමින් මෙසේ පවසා සිටියෙමි. අධික ලෙස කෘමි නාශක භාවිතා කරන වගා ආශ්‍රිත ජලයේ ආසනික් සහ බැර ලෝහ පවතින බවත් ඒ මගින් CKD තත්වය වර්ධනය වීමට යම් ඉඩකඩ ඇති බවත් විස්තර කෙරෙන පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම ප්‍රකාශිතව ඇත. මේ අනුව CKD සඳහා ජලයේ ඇති ආසනික් හේතු සාධකයක් විය හැකි බව දෙවියන්ගෙන් කෙසේ වෙතත් අන්තර්ජාලයෙන් සොයාගත් හැකිව තිබුණි. නමුත් එහිදීද කොහෙවත් සිටි මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ඔහුගේ සාමාන්‍ය දැනීම පසෙක තබා තම මොඩලය සනාත කරගැනීමට නාථ දෙවියන් පසුපස දුවන්න විය.
මේ ආකාරයටම ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිකවාදී නායකයෙකු ලෙස ඉහලින්ම අගය කල එතුමා ට්‍රම්ප්ගේ මග පෙන්වීමට අනුව ලෝකයම ජාතිකවාදී මාවතක ගමන් කරන බවට අදහස් පල කළේය. වසර හතරකින් ට්‍රම්ප් ගෙදර ගියේ ලෝකයේම අපවාදයට ලක්වූ තක්කඩියෙකු ලෙසයි. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාගේ අතීත ක්‍රියා කලාපය ගැන සාමාන්‍ය දැනීමක් ඇති ස්වාධීන මතවාදියෙකුට ඔහුගේ මේ හැසිරීම පහසුවෙන් තේරුම්ගත හැකිව තිබුණි.
මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ඊළඟට බරපතල වරදක් කළේය. ඒ කාලි මෑණියන්ගෙන් ලැබුණු උපදෙස් අනුව තමන් නිපදවූවා යයි කියන කොවිඩ්-19 නිවාරණ ඔසුවක් සම්බන්ධයෙන් පෙදරේරු කාර්මිකයෙක් ඔසවාගෙන යාමයි.
එය "ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් දෙවියෙකු ඈඳා ගත හැකි නම් නලින් ද සිල්වා ඔබ සමගය" යන කියමන තහවුරු කළේය.
මේ කියන පුද්ගලයාට හෙළ වෙදකම ගැන ඉතිහාසයක් තිබේද, අඩුම ගණනේ පාරම්පාරික වෙදෙක්ද එසේ නැත්නම් ඔහු මානසික රෝගියෙක්ද, වංචාකාරයෙක්ද, දේශපාලන උප්පරවැට්ටියක්ද, මාධ්‍ය ඇටවූ උගුලක්ද, ආදී සාමාන්‍ය දැනීමට ගෝචර විය යුතු කිසිවක් මේ අවස්ථාවේදී ඔහු සැලකුවේ නැත. ඒ තබා දෙයියා ලෝකල්ද, ඉන්දියානු ආනයනයක්ද යන්න ගැනවත් මහාචාර්ය නලින් ද සිල්වා තකන්නේ නැත. "දෙවියෙක් සම්බන්ධ නම් ඔහු හෙළයෙක්" යන උදෘත පාඨය එතුමා කරපින්න ගෙන යන සැටියකි.
නලින් ද සිල්වා යනු කිසිවිටෙකත් පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා මතවාද ඉදිරිපත් කරන්නෙකු නොවන බව මම තරයේ විශ්වාස කරමි. එහෙත් මහාචාර්යවරයෙකු ලෙස ඔහු වපුරන මේ අතාර්කික සහ විකාරරුපී අදහස්, පටු දේශපාලන සහ ස්වයං වාසි තකා ඉතා නිහින ලෙස අවභාවිතා කරන "උගත්" යයි සම්මත පිරිසක් බිහිවීම මෙහි ඛේදවාචකයයි.