පසුගිය සති කිහිපයේ අප උදෑසන නැගිටින්නේද, රාත්‍රී නින්දට යන්නේද, දවසේ වැඩි කාලයක් ගතකරන්නේද එකම ක්‍රියාවලියක් සමගයි. එනම් රටවල් හතරක පවතින තත්වය සොයා බැලීමටයි. අපේ නෑදෑ හිතවතුන් වැඩි දෙනෙක් සිටින්නේ ලංකාවේය. පොඩි පුතා මැලේසියාවේය. ලොක්කා ස්විඩනයේය. අපි දකුණු අප්‍රිකාවේය. දරුවන් දෙදෙනාම තවමත් සිප්සතර හදාරයි. මට මවකගේ සෙනෙහස පිළිබඳව සැබෑ ලෙසම අවබෝධ වුයේ පසුගිය සති කිහිපයේය. මගේ බිරිඳ දහවල පමණක් නොව රාත්‍රීය පුරාද වරින් වර දුරකතනයට නෙත් යොමයි. ඒ කුමක් හෝ පණිවිඩයක් ඇවිත්දෝයි යන හැඟීමෙනි.
මගේ සමීපතම සඟයෝ සහ ගෝලයෝ ලොව පුරා රටවල් 60 ක පමණ විසිරී ඇත. ඔවුන්ගෙන් දිනකට විද්‍යුත් පණිවිඩ 30-40 මට ලැබේ. මේ නිසා ලොව රටවල් ගණනාවක අභ්‍යන්තර සැබෑ තත්වය මට දැනගන්න ලැබේ. ඒ ජාත්‍යන්තර ප්‍රවෘති කඩතුරාවෙන් ඔබ්බට ගිය සැබෑ තතුය. එබැවින් මම ලෝකය ගැන බොහෝ දෙනෙකුට වඩා අංශු මාත්‍රයක් වැඩිපුර දනිමි.
මේ ඔබ අප ගතකරන්නේ මෙම ජිවිත කාලය තුල අප කිසිසේත් බලා පොරොත්තු නොවූ ව්‍යසනයක් තුලය. මා වෙතට එන තොරතුරු අනුව මෙය දෙවන ලෝක යුද්ධයට වඩා බෙහෙවින් භයංකාර වාතාවරණයකි. අවි රැගත් අරඟලයකදී එක් පසක් දිනීමෙන් යුද්ධය නිමවේ එහෙත් මෙහිදී මිනිස් වර්ගයා සැලකූ විට එවන් දෙපසක් නැත. ලෝක දේශපාලනයේ දැවැන්තයන් පවා අද අසරණය. මේ යන ආකාරයේ වෙනසක් නොවුවහොත් කොරෝනා වෛරසයේ ගොදුරක් බවට පත් නොවන කිසිවෙක් අප අතර නොසිටිනු ඇත. වෙනස ඇත්තේ ඔබ ඊට ගොදුරු වන දිනයේ ළඟ-දුර මතය.
ජනතා ඇසින් නම්, ඇමරිකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා සෑම රජයක්ම මේ අවස්ථාවේ අසමත්ය. මා හා සංවාදයේ යෙදුනු හැම දෙනෙක්ම තමන්ගේ රටේ කළ යුතුව තිබුණේ මෙය නොව එය බව පවසයි. මෙහිදී මා දකින්නේ රාජ්‍ය පාලනය හෝ අඩුම තරමේ ව්‍යාපාර කළමනාකරණය පවා බහුතරයක් ජනතාව තුල ඇති අනවබෝධයයි. එසේම ඔවුන්ගේ ඇති ඒක කෝණි දෘෂ්ඨියයි. බොහෝ දෙනෙකුගේ පැමිණිල්ල නම් රෝග බීජය තම රටට ඇතුළු වීමට පෙර ගුවන් තොටුපළවල් වසා රටට අගුලු දැමිය යුතුව තිබුණු බවයි. අනෙක් කතාව නම් රටේ රෝගය පැතිර යාමට පෙර රට වසා දැමීමට (lock down) තිබූ බවයි.
තමාගේ සහ තම නෑදෑ හිතවතුන්ගේ ශරීර සෞඛ්‍යය පැත්තෙන් බැලූ විට මෙසේ සිතීම සාධාරණය. නමුත් රජයක් පැත්තෙන් බැලූ විට මෙය ඉතාම දුෂ්කර තීරණයකි. රජයට "කොරෝනාවෙන්-පසු-රට" පිළිබඳව කොරෝනවටත් වඩා සිතිය යුතුව ඇත. දැනටත් ලංකාවේ රජය ගෙන ඇති තීරණවල අහිතකර ආර්ථික ප්‍රතිඵල ඔබට හිතාගැනීමට වත් නොහැකි බව මට හැඟේ. ඒවා ගෙන ඇත්තේ නොගෙනම බැරි අවස්ථාවට පැමිණි විටය. මෙය දියවැඩියාවේ දරුණුම අවස්ථාවට පැමිණි රෝගියෙකුගේ අත පය කපා දැමීම හා සමානය. අපි මේ වගේ අවස්ථාවල "දියවැඩියාව ගැන දැන ගත්ත ගමන්ම දොස්තරට තිබුනේ ලෙඩාගේ අත පය කපල දාන්න නේ" යැයි කියන්නේ නැත.
මට මේ රජයේ ආර්ථික, විදේශ, සාමාජිය ප්‍රතිපත්ති පිළිබඳව දැඩි විවේචන ඇත. ඒ පිළිබඳව මම පෙර මෙන්ම අනාගතයේද හඬ නගමි. ඒත් මේ අවස්ථාවේ ලක් රජය තම ජනතාව වෙනුවෙන් කරන්නේ හැකි උපරිමය බව මට ලෝකය දෙස බලන විට පෙනෙයි. ඒ ගැන නොකියා සිටීමට තරම් මම කුහකයෙකු නොවෙමි. රජයේ මෙන්ම විපක්ෂයේද දේශපාලකයන් තම "ගොන්කම්" ප්‍රදර්ශනය කරන අවස්ථා නැතුවා නොවෙයි. එය මනුෂ්‍ය ගතියයි. එහෙත් සමාජයක් ලෙස අප සියලු දෙනා මීට වඩා පුළුල් පරාසයක දැක්මක් ඇති කරගත යුතු බව මගේ හැඟීමයි. නොඑසේ නම් මෙය අප සියලු දෙනාගේම අවසානයේ ආරම්භය වනු ඇත.
රජයේ අඩු පාඩු ඇත්නම් එය සංයමයකින් යුතුව පෙන්වා දෙන්න. ඔබගේ සමාජ ජාලා පරිශීලනයේදී පවා හමුදාව හා පොලීසිය, වෛද්‍ය වෘතිකයන්, අත්‍යවශ්‍ය සහ සහන සේවා සපයන්නන් හැකි පමණ ධෛර්යමත් වන ආකාරයෙන් හැසිරෙන්න. ඔබ ධෛර්යමත් කරන්නේ ඔවුන්ව නොව ඔබවම බව සිතන්න.
මුළු මහත් මානව වර්ගයා වෙනුවෙන්ම ඔබට ඔබගේ යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතු හෝරාව පැමිණ ඇත. සමාජයේ යහපත වෙනුවෙන් අප සියලු දෙනාටම කළ හැකි සෑම දෙයක්ම කිරීමට අපි අදිටන් කරගමු.
ඔබගේත් මගේත් දරුවන් වෙනුවෙන් ඔබ අප සැමට වීරයකු වන්න යයි මිහිකත අයැදීයි.