Monday, 21 January 2019

අපි නොදන්න මාර්කටින්


ශ්‍රී ලංකාව 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගත්තේය. ඉන් අනතුරුව පැවති පළමු තරඟාවලිය සඳහා නවසීලන්තයට ගිය ලෝක ශූර ශ්‍රී ලංකා පිල හිස් ප්‍රේක්ෂකාගාර වලට ක්‍රීඩා කළේය. මා දන්නා කාලයක සිට ශ්‍රී ලංකා පිල යනු බොහෝ රටවලින් පහල ඉල්ලුමක් තිබූ කණ්ඩායමකි. සෑහෙන කලක්  සංචාරයකදී අපට ටෙස්ට් වරම් ලාබී රටවල් එක් ටෙස්ට් තරගයකට වඩා නොදෙන බවට අපි මැසිවිලි නගමින් සිටියෙමු. 

ලෝක කුසලාන ශූරතා සහ අනුශූරතා මෙන්ම අති දක්‍ෂ ක්‍රීඩකයන් අතින්ද ලංකාවට අහේනියක් නොවීය (මෑතක් වන තෙක්). එහෙත් ක්‍රීඩා වේදිකාවේදී අප හොඳ ඉල්ලුමක් සහිත පිලක් වුයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව මොන අතින් බැලුවත් ලංකාව අන්තර්ජාතික ප්‍රජාව අභියස යම් තරමකට පසුගාමිය. ලොව ඉස්තරම්ම තේ නිපදවනේ ලංකාවයි. එහෙත් තවමත් එයින් විශාලම ආදායම ලබන්නේ බ්‍රිතාන්‍යයි. මේ වන විට කෙන්යාව, ඉන්දියාව (විශේෂයෙන් Darjeeling Tea) පමණක් නොව මැලේසියාව පවා තේ වලට හොඳම සැපයුම් කරුවන් වී සිටිති. ලංකාව ලෝකයේ හොඳම මුහුදු වෙරළ තීරයන් ඇති රට බවට දෙවරක් පත්වෙද්දී (Lonely Planet) ලංකාව මෙන් 200 ගුණයකටත් වඩා කුඩා මාල දිවයිනේ මුහුදු වෙරළට, ලංකාවට එනවා මෙන් 200 ගුණයකටත් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ඇදෙයි. ලංකාවේ නිල් රතු පසිංගල් ගැන අපි පුරාජේරු කියමින් සිටින අතරේ තායි සහ චීන ජාතිකයෝ එම මැණික් කැටවලින්ම ලංකාව ලබන ආදායම මෙන් දස ගුණයක් උපයා ගනී.

..................................................................................

මේ ලිපිය මා ලියන්නේ ඉන්දියාවේ භූබනේශ්වර් නුවර පැවැත්වෙන අකුණු සහ වායු ගෝල කැළඹීම් පිළිබඳව සම්මන්ත්‍රණයකට සහභාගී වන අතරතුරයි. විරාමයක් අතර මම මිතුරු ආචාර්ය ක්‍රිෂ්ණා ගෞඩා සමග ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පිළිසඳරකට වන්නෙමි. ලංකාවේ ක්‍රිකට් පිළිබඳවද දැන් වැඩිපුර කතා කලයුතු දෙයක් නැත. එබැවින් මම වඩාත් නොසිතාම ක්‍රිෂ්ණා ගෙන් මෙසේ ඇසුවෙමි. 

"කොහොමද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන රටවලට වඩා ඉන්දියාවෙන් හමුවෙන්නේ".

මෙය වෙනත් ඉන්දියන් ජාතිකයෙකුගෙන් ඇසුවා නම් මට ඊළඟ පැය පුරා ඉතා ගැඹුරු විග්‍රහයකට ඇහුම්කන් දිය යුතු වනු ඇත. එය බොහෝ විට පුරාණ ඍෂිවරුන්ගේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙස හේතු දැක්වීමටද බැරි නැත. එහෙත් ක්‍රිෂ්ණා වෙනස් ලෙස සිතන ඉන්දියානුවෙකි.

"කවුද කියන්නේ ඉන්දියාවේ වෙන රටවලට වඩා දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා කියා". ඔහු ගත් කටටම කීය.

"වෙනස තියෙන්නේ වෙන රටවලට වඩා ඉන්දියානු ක්‍රීඩකයන්ගේ අලෙවිකරණය (marketing) හොඳයි. ක්‍රීඩකයන්ගේ විතරක් නෙවෙයි ඒ හා සම්බන්ධ සියළු දෙනාගේ. රටවැසියාගේ පවා". ක්‍රිෂ්ණා කියාගෙන යයි.

ක්‍රිෂ්ණා කියන දේ මට පිළිගත යුතුව ඇත. මුරලිදරන් ලෝකයේ සිටි වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත්  ක්‍රීඩකයාය. එහෙත් ඔහුට වඩා කපිල් දේව් පිළිබඳව ලෝකය කතා කරයි. අංශ රාශියකින් සචින් තෙන්ඩුල්කාර්ට වඩා සංගක්කාර ඉදිරියෙන් සිටියි. එහෙත් සංගක්කාරට වඩා සචින්ගේ ප්‍රතිරූපය බොහෝ සෙයින් ඉහලය. යථාර්තය මෙයයි. 

"ඉන්දීය ක්‍රීඩකයන්ගේ කැරිස්මාව (charisma; මෙයට නියමාකාරයෙන් සිංහල වදනක් නැතැයි මට සිතෙයි) ඉතා ඉහලයි. ඒ වගේම  ඉන්දියන් ක්‍රීඩා විචාරකයන්, නිවේදකයන් වගේම මාධ්‍යයත් ඔවුන්ව ඔසවා තබනවා".

බෞද්ධ කොඩිය හඳුනන්නේ නැති, ඕස්ට්‍රේලියාවෙන් මැටි ගෙන්වා තණතිලි හදන්න යෝජනා කරන, පිටරට ක්‍රීඩකයෙක් තට්ටුවක් ඇල්ලුවත් අතිශයෝක්තියෙන් වර්ණනා කරන අපගේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් මට මතක් වෙයි. 

..................................................................................

ස්වයං-අලෙවිකරණය (self-marketing) අද පමණක් නොව මිනිසා පැවතෙන දා පටන් නායකත්වයේ සහ ස්වයං-වර්ධනයේ  ප්‍රබල සාධකයක් විය.  ප්‍රාග්-ඓතිහාසික මිනිසා සතෙකු මරාගත් විට දෑතින් පපුවට ගසා ගනිමින් අත් පා ඔසවමින් මහා හඩින් කෑගසා තම අභිමානය සෙස්සන්ට පෙන්විය. මෙය ඔහුගේ නායකත්වය පිළිබඳව අනෙකාට දුන් ඉඟියකි.  අද දක්වා මෙහි වෙනසක් නැත (අද ලාංකික දේශපාලන වේදිකාව තුල පවා මෙය දෘශ්‍යමාන වෙයි). තම හැකියාවන් පිළිබඳව පෞද්ගලිකව මෙන්ම සාමුහිකවද ඵලදායි ලෙස (effectively) ලෝකයට දැනුම්දිය හැකි පුද්ගලයා හෝ සමාජය තම ජයග්‍රහණ ආර්ථික වර්ධනයන් බවට පරිවර්තනය කරගනී.

විනිසුරු දැනුම් දීමටත් පෙර තම දැවී යාම පිළිගෙන පිටියෙන් ඉවත්වන ලාංකික ක්‍රීඩකයන් සිටි සමයක් විය. තමා කඩුල්ලක් ලබාගත් විට හෝ ශතකයක් ලබාගත් විට ඉතා සංසුන්ව ජයග්‍රහණය සමරන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලේ අඩුවක් නැත. එය අපගේ නිහතමානි කම බව සමහරුන්ගේ මතයයි. නමුත් ලොවට අවශ්‍ය මේ ඕලාරික හැසිරීම් රටාව නොවේ. ලොවට අනවශ්‍ය දේ මාධ්‍යටත්, මාධ්‍යට අනවශ්‍ය දේ ආර්ථිකය හසුරුවන්නන්ටත් අවශ්‍ය නොවේ. අවසානයේදී අපිට ඉතිරිවන්නේ නිහතමානීකම සහ දුප්පත්කම පමණකි. 

ෂහිඩ් අෆ්රිඩි කඩුල්ලක් ලබා ගත් විටත්, විරාත් කොහොලි ලකුණු 50 ක් ගැසූ විටත්, දක්වන නර්තන ඔවුන්ගේ ස්වයං-අලෙවිකරණයේ අංගයන්ය. එය ඔවුන්ව මාධ්‍ය චුම්බක (media magnets) බවට පත් කරයි. පිටියේදී නිතර කිපෙන සුළු බවක් පෙන්වන, ලංකාවට ආරියාදු කතා කියන විරාත්, ශ්‍රී ලංකාවේදී පාරක් අයිනේ ලෑලි විකට්ටුවක් ඉදිරිපස කොල්ලෝ කුරුට්ටන් සමග ක්‍රිකට් ගැසීය. අපි ඔහුගේ අලෙවිකරණයේ මාධ්‍ය ප්‍රවර්ධකයන් වූයෙමු. ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම් හමුවේ ඔහුට බණිමින් සිය ගණනක් පෝස්ට් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. ඊටත් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාරේ ක්‍රිකට් ගැන පලවිය. ඔහුගේ අලෙවිකරණයේ සාර්ථක බව මෙයින්ම සහතිකවේ. අවසානයේ විරාත් කොහොලි ක්‍රීඩා කරන තරඟ බැලීමට හැම රටකම ජනතාව වැල නොකැඩී පැමිණෙයි. 

අද මේ අලෙවිකරණය පිළිබඳව අප ඉගෙන නොගත් පාඩම් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පවා හොඳින් හදාරා තිබේ. බංග්ලාදේශයේ නයා අපි ලෝකය වටේ අරන් ගියෙමු. බංග්ලාදේශය සහ වෙනත් රටවල් අතර තරඟ වලදීද එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙම නයා පෙන්වීම කරන බව මම පෞද්ගලිකව දනිමි. ඔවුන් දැන හෝ නොදැන බංග්ලාදේශයට අති විශිෂ්ඨ සේවයක් ඉටු කරයි. 

..................................................................................

ක්‍රිකට් යනු ජාතික පෞරුෂය වර්ධනය කළ හැකි උත්තේජකයක් මෙන්ම ඉතා හොඳ ව්‍යාපාරික මොඩලයකි. ඉන්දියාව තරම් මෙම ව්‍යාපාරික ආකෘතිය ඥානාන්විතව සහ අති දක්ෂ ආකාරයෙන් හැසිරවූ වෙන රටක් නැති තරම්ය. අද එය ඉන්දියාවට ධන උල්පතක් වී ඇත. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දක්ෂතාවයෙන් ඔබ්බට ගිය කැරිස්මාවක් තිබූ එකම ක්‍රීඩකයා ලෙස මා දකින්නේ ලසිත් මාලිංගයි. මෙරට තුල පමණක් නොව වෙන රටවලද නරඹන්නන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ශාරීරිකව අනුකරණය කිරීමට උත්සහ කළා නම් ඒ මාලිංගව පමණකි. එහෙත් මාලිංගගේ මේ කැරිස්මාව අලෙවි කරගත්තේ ලංකාව නොව මුම්බායි ඉන්ඩියන්ස් පිළයි. ලංකාවේ ශෝචනීය තත්වය පැහැදිලි කිරීමට මීට වඩා උදාහරණයක් නැති තරම්ය.

..................................................................................

මට පෙනෙන හැටියට නම් ලාංකිකයා තුල ජාතියක් වශයෙන් නිහතමානී කමක් නැත. අපි නිවසේ සිට සමාජයේ ඉහලම කෙලවරට යන තෙක් පුරාජේරුවට (නයා ඇරීමට) ඉතා කැමැත්තෙමු. එහෙත් අප නයි ඇරීමේ කලාවේ අන්තිම අදක්ෂයෝය. අප පුරාජේරු කියවන්නේ ස්වයං-සන්තුෂ්ඨිය හෙවත් හිත සනසා ගැනීම සඳහාය. ඒ වෙනුවෙන් අපි බොහෝ දෙනාගේ හිත් පාරමු. එය පෞද්ගලිකව මෙන්ම ජාතියක් හැටියටද අපි නිරන්තරයෙන් කරමු. මේ පිළිබඳව මම "ධනවතෙකු වීමේ මග" පොතෙහි පරිච්චේදයක්ම වෙන් කලෙමි. 

අපි නයා ඇරිය යුත්තේ පැහැදිලිවම එයින් අපට පල ප්‍රයෝජනයක් ඇත්නම් සහ එමගින් අනෙකාගේ හිත නොරිදේ නම් පමණකි. 

ඔබට ආචාර්ය උපාධියක් ඇත්නම් එමෙන්ම ඔබ වෘතියමය උපදේශකයෙක් (consultant) නම් ඔබට ඔබගේ අධ්‍යාපන සුදුසුකම නිරන්තරයෙන් ඔසවා තැබිය යුතුවෙයි. ඔබගේ සේවාලාභියා (client) ඔබ පිළිබඳව ඉහල ඇගයීමක් කිරීමෙහි ලා මේ නයි ඇරීම ඉමහත් සේ හේතුවෙයි. 

අනෙක් අතට ඔබට විවාහ උත්සවයකදී කලකට පසු අපොස උසස් පෙළවත් සමත් කරගැනීමට නොහැකි වූ ඔබේ ඥාති සහෝදරයා, මිතුරා, පැරණි අසල්වැසියා හමුවෙයි. ඔහු ඉදිරියේ ඔබගේ "ඩොක්ටරේට්" එක ගැන මහා ඉහලින් වර්ණනා කිරීමට යාම ඔබගේ සහෘදයා කණගාටුවට පත් කරනු ඇත. ඒ අතරම ඔබ බොහෝ විට විහිළුවක් බවට පත්වනු ඇත. 

ජාතියක් ලෙසද මේ පාඩම ඉගෙන ගන්නවා නම් අපට බොහෝ දේ හිමිකරගත හැකි වනු ඇත.




****************











Sunday, 13 January 2019

පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ



මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම අපගේ කතා බහ ඇරඹීමට හේතු විය. 

ශාලොම්ගේ පියා යුදෙව් ජාතික (ස්වීඩන් - යුදෙව්) මහාචාර්යවරයෙකි. ශාලොම් කරන රැකියාව කුමක්දැයි මට අදටත් හරියටම නොතේරෙයි. ඔහු කිහිප වරක්ම ලංකාවට පැමිණ ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශයේ දොඩම් සහ දෙළුම් වගාව ආරම්බ කල හැකිදැයි ශක්‍යතා අධ්‍යනයක් සඳහාය. 

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි.

ශාලොම් මට අදටත් ප්‍රෙහේලිකාවකි. ඔහු මට මුණ ගැසෙන්නේ අධි විද්‍යුත් වෝල්ටීයතා සම්මන්ත්‍රණයකදීය.  ඔහු විද්‍යුත් ආම්පන්න නිෂ්පාදනයේ ලා ප්‍රසිද්ධ ස්වීඩන් කොම්පැනියක ඉහල නිලයක් දරයි. ඒ අතරම ඔහු ලංකාවේ දේශගුණය, පස, කෘෂිකර්මය පමණක් නොව දුෂිත දේශපාලකයන් ගැනද පරතෙරටම දනී.

.....................................................................

ඊශ්‍රායලය දොඩම් අපනයනය කරන රටවල් අතර පළමු 15 දෙනාටවත් අයත් වන්නේ නැත. ඒ ඔවුන්ගේ රට කුඩා නිසා ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව වැනි දැවැත්ත රටවල නිෂ්පාදන ධාරිතාවයට ඔවුන්ට කිට්ටු විය නොහැකි බැවිනි. එහෙත් ඔවුහු දොඩම් වලින් සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලබති. ඒ ඊශ්‍රායලය තුල වැවෙන විශේෂ රසයෙන් යුතු දොඩම් වර්ග විකිණීමෙනි. ඒ සඳහා අන්තර්ජාතික වෙළඳ පොලේ ඔවුන්ට ඉතා ස්ථාවර ඉල්ලුමක් ඇත. මට ශාලොම් ගේ කතාවෙන් තේරුණේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල මෙම ඊශ්‍රායලයට වැදගත්වන පලතුරු වර්ග වැවිය හැකි ප්‍රදේශ පිළිබඳව ඉතා ඉහල සැලකිල්ලක් දක්වන බවයි. 

.....................................................................

මේ මීට කලකට පෙර අපි බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහතිකයක් දීමට මට නොහැක. එහෙත් බොහෝ දෙනෙක් මෙය සත්‍ය බව මා සමග පවසා ඇත.

බිබිලේ දොඩම් ගැන අපි කුඩා කල කවි පවා ගායනා කර ඇත. 1960-70 ගණන් වන විට බිබිල ප්‍රදේශය දොඩම් වගාවෙන් ඉතා ඉහල ආදායමක් ලබාගෙන ලංකාවේ ධනවත්ම ප්‍රදේශයක් වන බවට අනාවැකි පලවිය. වගාව අන්තර්ජාතික තත්වයට ගෙන එම සඳහා එවකට පැවති රජය තෝරාගත් කුඩා කෘෂි විශේෂඥයන් කණ්ඩායමක් වැඩිදුර අධ්‍යනය සඳහා විදේශ රටකට යැවීය. මාස කිහිපයකට පසු ඔවුන් අධ්‍යනය නිම කර ලංකාවට පැමිණියේය. ඉන්පසු ගතවූ ඉතා කෙටි කාලයක් තුල බිබිලේ දොඩම් වගාව හඳුනා නොගත් රෝගයකින් සහමුලින්ම විනාශ වී ගියේය. 

මෙම විශේෂඥ කණ්ඩායමේ කිහිප දෙනා ඉන්පසු ඇමරිකාවේ නිත්‍ය රැකියා හිමිව ලංකාවෙන් සදහටම නික්ම ගිය බව සමහරු පවසයි.

.....................................................................

මා අපොස සාමාන්‍ය පෙළ හදාරන සමය වන විටත් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තේ, රබර්, පොල් විය. වසර 1970 අවසන් භාගය වන විට ලංකාවද ඇතුළු ලොව බොහෝ රටවල ඉතා තදින් පැතුරුණු මතයක් නම් පොල් තෙල් ඉතා අධික කොලෙස්ටරෝල් සහිත මේදයක් බැවින් හදවත් රෝගවලට ඉමහත් සේ ඉවහල් වන බවයි. ලංකාවේ පාසල්වලද ගුරුවරු මේ කතාවම ඉගැන්වීය. මෙහි ප්‍රතිඵලය වුයේ ලොව පුරා පොල් සඳහා වූ ඉල්ලුම පහල වැටීමයි. ලංකාවේද ඇති හැකි තැන්වල උදවිය පොල් තෙල් වෙනුවට, එළවලු තෙල් භාවිතා කරන්න විය. ඒ ගැන උජාරුවෙන් අසල් වැසියන් සමග උදම් අනන්න විය. 

ලංකාවේ පොල් ගස් යායවල් පිටින් සිදී ගියේය. ඒ වෙනුවට ඉඩම් කට්ටි කර විකුණන බෝර්ඩ් හැම අස්සක මුල්ලකම දකින්න හැකි විය. මේ අතර ඇමරිකාව ප්‍රමුඛ කරගත් බහු ජාතික සමාගම් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෙක්ටෙයාර මිලියන ගණනක පොල් සිටුවන්න විය. 

.....................................................................

මේ වන විට අප දන්නේ පොල්තෙල් යනු දැනට ලොව භාවිත කරන ගුණාත්මකම තෙල් විශේෂය බවයි. මුළු ලොව පුරාම පිරිසිඳු  පොල් තෙල් වලට අති විශාල ඉල්ලුමක් ඇත. එය සපුරා ලීමට බහු ජාතික සමාගම් දැන් අප්‍රිකානු සමුද්‍රාසන්න රටවලද ඉඩම් සොයයි. එහෙත් අපේ පොල් බිම් සිඳී ගොස් ඇත. පසුගිය සමයක ලංකාවට පැමිණි විට මා සුපිරි වෙළඳ සැලක රාක්කයක ඇති මැලේසියාවෙන් ආනයනය කල සුදු පොල්තෙල් බෝතලයක් දුටුවෙමි. දැන් එය ඇති හැකි අයගේ ආඩම්බරයි.



.....................................................................

සේනා ආවේ කොහොමදැයි අපි දන්නේ නැත. හෙට අනිද්දාට ගොයමට, බුලත් කොටුවට, කොස් ගෙඩියට පවා අමුත්තන් පැමිණෙනු ඇත. ඒ පසුපස කෘමි නාශක කන්ටේනර්ද සැපත් වනු ඇත.

.....................................................................

අපේ පොලිටික්කන් කෑගසන විදේශ කුමන්ත්‍රණ අද ලෝකයේ නැත. ඒවා ඇත්තේ පොලිටික්කා මවන සිහින ලෝක වල පමණකි. එහෙත් පසුගිය දශක තුන හතරක සිට ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කුමන්ත්‍රණ ඉතා සුක්‍ෂම සහ තීව්‍ර අන්දමින් ක්‍රියාත්මක වේ.  ඒවා අවබෝධ කරගෙන නිසි ආරක්ෂක පියවර ගැනීමට තරම් අපේ දෙසපාලුවා බුද්ධිමත් නොවෙයි.

විපක්‍ෂයේ සිටින විට බහුජාතික බූවල්ලා හොඳ සටන් පාඨයකි. බලයට පැමිණි විට බූවල්ලා හා පැටියෙකු බවට පත්වෙයි.  




Sunday, 6 January 2019

පරාජයේ සීතල, සදාචාරය සහ ක්‍රිකට්



ඒ  අපගේ තරුණ කාලයයි. බ්ලුම් ෆීල්ඩ් සහ සී සී සී ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරගයක් රීඩ් මාවතේ පිහිටි බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබුණි. එකවරම යම් පුවරුවක් ඇඟේ එල්වා ගත් (කවුරුන් විසින් හෝ එල්වූ) දඩාවතේ යන බල්ලෙක් පිටිය මැදට දිව ආවේය. බල්ලා සමීපයට එන විට ලියා ඇති දේ කියවිය හැකි විය. එහි ලියා තිබුනේ "අබු ෆුවාඩ්" යන නමයි. බොහෝ දෙනෙකුට මෙය දැක සිනහ පහලවූ අතර සමහරුන් විසිල් ගසමින් කෑ මොර දෙන්න විය. එසැනින්ම ක්‍රියාත්මකවූ ක්‍රීඩාංගනය බාර සේවකයෙක් දිවැවිත් සෑහෙන උත්සහයකින් පසු පුවරුව ගලවා බල්ලාව එම ගැහැටෙන් මුදා හළේය.

"අබු ෆුවාඩ්" යනු එවකට ක්‍රිකට් පරිපාලනයේ සිටි දැවැත්ත චරිතයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණ රාශියක් (පිටියේ මෙන්ම ඉන් පිටතදීද) පිටිපස අබු ෆුවාඩ් මහතා සිටි බව බොහෝ දෙනෙක් පිළිගනී. ජාතික පිල තේරීමේදී ඔහුගේ තීරණයන් හැමවිටම ප්‍රමුඛස්ථානය ගන්නා බව අප සැමගේම මතය විය. අවුල තිබුනේ ඔහු ජාතික පිල තේරීමේදී බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ (විශේෂයෙන්ම නාලන්දාවෙන් පැමිණෙන) ක්‍රීඩකයන් කපා දමන බවට පැතිර ගිය රාවයයි. එය කෙතරම් ක්‍රීඩා ලෝලීන් තුලට කා වැදී තිබුණේද යත් "අබු ෆුවාඩ්" නම ඇසුණු සැණින් කෝපාවිෂ්ඨ වන බ්ලුම් ෆීල්ඩ් රසිකයන් විය. නාම පුවරුව එල්ලා ගත් බල්ලා මෙම රසික වෛරයේ තරම කියා පෑවේය.

මට මේ කතාව මතක් වුයේ මීට මාස කිහිපයකට පමණ පෙර ලංකාවට පැමිණි අවස්ථාවේ මුණ ගැසුණු මිතුරෙකු කී කරුණක් නිසාය. ඔහු මට හමුවුයේ වසර 30ට පමණ පසුවය. ප්‍රබල බ්ලුම් ෆීල්ඩ් රසිකයෙකු වූ ඔහු එවකට එන් සී සී පිලට යම් ලබැඳියාවක් තිබු මා සමග පැය ගණන් ඉතා දරුණු ආකාරයෙන් වාද කල අවස්ථා විය. නාම පුවරු බල්ලා පිටිය පුරා දුවන විට මා සමග සිටි මේ මිතුරා අමන්දානන්දයට පත්ව උඩ පනිමින් ඔල්වරසන් දෙන්න විය. 

"අපෝ ක්‍රිකට් ගැන නම් අහන්නවත් එපා බන්, මේ බුකිකාරයෝ සෙට් වෙලා ඒක විනාශ කළා. තිලංගල එක්ක තිබ්බහම අබු ෆුවාඩ්ලත් හෙණ ජෙන්ටෝ මචන්" මිතුරා කියාගෙන යයි.

ඔහු වසර දෙක තුනකින් ක්‍රිකට් තරඟයක් රුපවාහිනියේ වත් නරඹා නැත. එදා අහවල් දින, අහවල් තරඟයේදී, අහවල් ක්‍රීඩකයා ලබා ගත් ලකුණු ප්‍රමාණයත්, එම පිතිකරු ක්‍රීඩා කල ආකාරයත් මැනවින් විස්තර කල හැකි මතකයක් තිබූ ඔහු අද පිලේ සිටින ක්‍රීඩකයන් වැඩි දෙනෙක් නමින් වත් දන්නේ නැත. 

මේ අද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දුක්බර තත්වයයි.



ක්‍රිකට් යනු සුද්දා අපිට දුන් කමකට නැති, විජාතික ක්‍රීඩාවක් බව කෙනෙකුට තර්ක කල හැක.  එහෙත් ඔබ විදේශ සංචාරයෙහි නිරත වන අයෙකු නම් මෙම ක්‍රීඩාව ඔබට අත් කරදෙන ස්ථානය මැනවින් අවබෝධ වනු ඇත. ඇමරිකානුවෙක්ට, ජර්මනුවෙක්ට, ඔස්ට්‍රේලියනුවෙක්ට, ජපනෙක්ට විදේශයකදී තම රට පිළිබඳව හැඳින්වීමක් කල යුතු නැත. තමා කුමන ජාතිකයෙක්දැයි කියූ පමණින් ඔවුන්ට ඉහල පිළිගැනීමක් ලැබේ. ව්‍යාපාරික මෙන්ම වෘතිය කටයුතු සඳහාද මෙම පිළිගැනීම කෙතරම් වැදගත්දැයි දන්නෝ දනිති.  

ලොව මට හමුවූ බොහෝ මිනිසුන් ලංකාව යනුවෙන් රටක් ඇති බව අසා තිබුණේවත් නැත. තිත්ත ඇත්ත මෙයයි. නමවත් අසා නැති රටක මිනිසෙක් ඔවුන්ට කිසිසේත්ම වැදගත් වන්නේ නැත. ලංකාව ගැන දන්නා පිරිසෙන් 99% ම දැනුවත්ව සිටියේ කාරණා තුනක් පිළිබඳවයි. ඒ සනත් ජයසුරිය, සිරිමාවෝ බණ්ඩාරනායක (විශේෂයෙන් වියපත් පිරිස) සහ LTTE ත්‍රස්තවාදයයි. 

ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම ලංකාව පිළිබඳව දනී. මුරලිදරන්, ජයසුරිය, අරවින්ද, අර්ජුණ, සංගා, මහේල ගැන ඔවුහු ඉහලින් කතා කරති. මේ ඉහල ඇගයීමෙන් කොටසක් ඔබටද ලැබෙයි. එය ලබාගෙනම අත්දැකිය යුතු කරුණකි. 

මා සමහර රටවලදී මාව හඳුන්වා දෙන්නේ මැලේසියාවෙන් පැමිණියකු ලෙසයි. මට මැලේසියාවේ නිත්‍ය පදිංචිය ඇති බැවින් මෙහි අසත්‍යතාවයක් නැත. එහෙත් සමහර රටවලදී මෙය අවාසියකි. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාවේ බොහෝ දෙනෙක් මැලේසියාව පිළිබඳව අසා නැත. එහෙත් ශ්‍රී ලංකාව යැයි කී පමණින් එම රට නොදන්නා අයෙක් මට තවමත් හමුවී නැත. ඒ අන් කිසිවක් නිසා නොව ක්‍රිකට් ක්‍රීඩාව නිසාය.

නමුත් අවාසනාවකට දැන් මට සමුවන බොහෝ දකුණු අප්‍රිකානුවන් අසන පොදු ප්‍රශ්නයක් ඇත.

"What has happened to your cricket, man".


ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ඇරඹෙන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සමගිනි. එතෙක් කල් ක්‍රීඩා පරිපාලනයට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයක් දැක්වූ අයයි. ඔවුන් අතර තම ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමේලා ධූරය උපයෝගී කරගත් ගාමිණී දිසානයකලාද, තම හිතවත් ක්‍රීඩා සමාජය සඳහා යම් පක්ෂග්‍රාහී තීරණ ලබා දුන් අබු ෆුවාඩ්ලාද සිටියෝය. නමුත් ඔවුන් සියල්ලෝම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අතිශයින්ම වැදගත්වන කාර්යභාරයක් ඉටු කල අතර ඒ කිසිවෙක් තම තනතුරු පෞද්ගලික මුදල් උත්පාදනයෙහි ලා ක්‍රියාත්මක කර වුයේ නැත. එසේම ඔවුන්ගේ රැකියාවන් හෝ ව්‍යාපාර ක්‍රිකට් ක්‍රීඩාව සමග කිසිසේත්ම සම්බන්ධ වුයේද නැත. 

අපි 1996 වසරේ ලෝක කුසලානය දිනා ගතිමු. ඉන් සමසක් යාමට පෙර එම ජයග්‍රහණයෙහි ලා සුවිසල් කාර්යභාරයක් ඉටුකළ ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා මහතා ගෙදර යැවීය. ඒ ක්‍රිකට් ආයතන නිලවරණයේ චන්ද දායකයන් ගත් තීරණයයි. ඒ වෙනුවට පත්වන්නේ ක්‍රිකට් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ව්‍යාපාරිකයන් පිරිසකි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා උපයා ගත හැකි පෞද්ගලික ධනස්කන්ධය පිළිබඳව ඉව වැටී සිටි හයිනාවන් රැලක් විය. එහි කූට ප්‍රාප්තිය සිදුවන්නේ ඉතා පහල මට්ටමෙන් යන්තම් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූ, මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සිරගත වූ, පරම්පරාවෙන් සූදුව ව්‍යාපාරයක් කරගත් අයෙක් ක්‍රිකට් සභාපති පුටුවට පත්වීමෙනි.

එතෙක් බොහෝ විට නිතරඟයෙන් හෝ සුහඳ චන්දයකින් තේරුණු ක්‍රිකට් පාලක මණ්ඩලය, බලූ  බල පොරයක් බවට පත්විය. චන්දය සඳහා පමණක් වූ කාඩ්බෝර්ඩ් ක්‍රීඩා සමාජ බිහිවන්න විය. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා වසරකට වැයකරන මුදලටත් වැඩි ප්‍රමාණයක් ක්‍රිකට් පාලක මණ්ඩල චන්ද විමසීම පවතින යුගයේදී විසිවෙන බව දන්නෝ කතා කරන්න විය. වරක් ලංකාවේ ධනවත්ම ක්‍රීඩා ආයතනය වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටට බරක් වූ ණයකාරයෙකු විය. 

අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩකයන් වෙතද දරුණු චෝදනා එල්ලවෙමින් පවතී. ඉතා තීව්‍ර ලෙස තරඟ පාවා දීම් සහ වෙනත් වංචාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. 

හිටපු සභාපති වරයා මෙම චෝදනාවලට වැරදිකරුවෙක්ද නැත්ද යන්න අනාගතය තීරණය කරනු ඇත. නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ. සූදුව පවුලේ ව්‍යාපාරයක් වූ, අපරාධ චෝදනා මත සිරභාරයට පත් වූ පුද්ගලයෙක් ක්‍රීඩා ආයතනයක ඉහලම පුටුව හෙබවීමට ඇති සදාචාරය කුමක්ද යන්නයි? එවන් පුද්ගලයෙකු මුල් පුටුවට පත් කරගැනීමට කටයුතු කල ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ගේ සදාචාරය කුමක්ද?

"සදාචාරය"- ලංකාවට විහිළුවක් වැනිය.

සදාචාරාත්මක නොවන පාලකයෙක් මුල් පුටුවේ තබාගෙන ඊට පහල නිලධාරීන්ගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් සදාචාරාත්මක ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තුවන ජනතාවද විහිළුවකි. 

...........................................................................................

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිරීක්ෂණය කරන අයෙකුට පැහැදිලිවම පෙනෙන කාරණයක් නම් ඔවුන් තනි තනිව ගත් කල ඉතා ඉහල කෞශල්‍යයක් ඇති ක්‍රීඩකයන් බවයි. උදාහරණයක් ලෙස ඔවුන් වෘතිය බොක්සිං ක්‍රීඩකයන් වුවා නම්, බොහෝ තරඟ ඔවුන් ජයගනු ඇත. අවාසනාවකට ඔවුන් කණ්ඩායමක් ලෙස එකතුවන්නේ එකිනෙකා කෙරේ කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමකය. මුල් පුටුවේ සූදු නියාමකයෙක් සිටින විට ඔවුන්ට කිසිවෙකු සහෝදරත්වයෙන් පිළිගත නොහැක. 

ජාතික කණ්ඩායමෙන් පිටතදී මාලිංග පන්දු යැවූ ආකාරයත් (මුම්බායි ඉන්දියන් පිළ සඳහා), සංගක්කාර පිති හරඹයේ යෙදුනු ආකාරයත් (සසෙක්ස් පිළ සඳහා) අධ්‍යනය කරන්න. මීට ආසන්න වකවානු වලදී ඔවුන්ගේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වූ දායකත්වය ඊට වඩා බොහෝ සෙයින් පහල මට්ටමක විය. මේ පිළිබඳව බොහෝ දෙනා මත පල කලේ ඔවුන් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි. එහෙත් කිසිවෙක් ගැටළු මූලය පිළිබඳව දැඩි අවධානයක් යොමු කලේ නැත.

අද සූදු නියාමක සභාපතිවරයා නැත. එහෙත් ඔහුගේ දැවැත්ත සෙවණැල්ල ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව වසාගෙන ඇත. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත දෙපයින් නැගී සිටීමට නම් මේ පුද්ගලයා සිය කැමැත්තෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත යුතුය. ඉන් පසු තවත් ටික කලක් යන තෙක් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සඳහා වැඩ සටහන් දියත් කල යුතුය. 

නොඑසේ නම් අපිට තව ටික කලක් තරගාවලිය පැරදුන පසු අවසන් තරඟය දිනා සැනසෙන්න සිදුවනු ඇත. ඒ ටික කලද ඉක්ම ගිය පසු සුදු ශෝදනය දායාද කරගන්න වනු ඇත.

දැනටමත් අපි ආසියාවේ අන්තිමයා වී ඇත.