Sunday, 22 April 2018

හැමදේම වෙන්නෙ හොඳට



කසඛස්ථානයට පැමිණ සති තුනක් ගතකල මම හෙට උදෑසන නැවතත් මැලේසියාව බලා පිටත් වෙන්නෙමි (2014 ඔක්තෝම්බර් මස දිනක). මෙහි පැමිණි දෙවන දින මෙම සරසවියේ ඉංජිනේරු අංශ භාර පිඨාධිපතිවරයා සමග වු යම් කෝපය දනවන කතා බහක් හේතුවෙන් මම තරමක සිත් තවුලකට හා නුරුස්සනා ස්වභාවයකට පත් වුනෙමි.   

එවන විට මා මහාචාර්ය බයන්දේ හඳුනා ගත්තා පමණි. තරමක් නොසන්සුන්ව සරසවියෙන් ඉවතට ගමන් කරන මා දුටු බයන්දේ විගසින් මා වෙතට පැමිණ ඉතා කුලුපඟ මිතුරකුසේ මගෙන් කාරණය විමසා සිටියේය. මගේ කතාව අසා සිටි බයන්දේ මට කදිම පිලිතුරක් දුන්නේය.

ඔහුගේ පිලිතුර තවත් රසවත් කථාවක් විය.

දහනමවන සියවසේ අග භාගයෙදී අප්‍රිකාවට පැමිණි ජොනතන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් එහි වැවිලි කරුවෙකු බවට පත්වී පසු කාලයක විශාල වතුයායක හිමිකරු විය. 

දිනක් ජොනතන් තම මෙහෙකරුවන් පිරිවරාගෙන දඩයමේ ගියේය. එහිදී ගෝනකුට එල්ලය ගෙන කොකා ගැස්සීමෙදී තුවක්කුව පුපුරා ගොස් ඔහුගේ මහපට ඇඟිල්ල ගැලවී ගියේය. 

මේ දුටු එක් තරුණ මෙහෙකරුවෙක් “ඒක හොඳ වැඩක්” කියමින් සිනාසෙන්න විය.

“ඒකෙ ඇති හොඳේ මොකක්ද මිනිහෝ” කියමින් වේදනාවෙන් කෑගසූ ජොනතන් එම සේවකයාව ජීවිතාන්තය දක්වා සිර භාරයට පත් කලේය. 

ඉන් වසර කිහිපයකට පසු නැවතත් දඩයමේ ගිය ජොනතන් සහ පිරිස නොදැනීම කැළයේ ඈතට ගමන් කර මිනීමස් බුදින වනචාරී ගෝත්‍රයකට මැදිවිය. සියළුම සේවකයන්ව පුලුස්සා මරා දැමු ගෝත්‍රිකයෝ ජොනතන්ව පමණක් නොමරා යන්න හැරියේය. ඊට හේතුව ඔවුන් සම්ප්‍රදායක් ලෙස අත් පා වල ඇඟිලි අඩු කිසිම සතෙකු නොබුදීමයි.

තම නිවසට පැමිණි ජොනතන් මුලින්ම කලේ දඟ ගෙයි සිටින සේවකයා සොයා ගොස් ඔහුව නිදහස් කිරිමයි. නිදහස් වූ සේවකයා ඇමතූ ජොනතන් තමා අතින් සිදුවුයේ වරදක් බව නිහතමානීව පිළිගත්තේය.

“අපෝ නැහැ මාස්ටර් ඒක හොඳ දෙයක්” සේවකයා කීය. නැවතත් කෝපවු ජොනතන් "කොහොමද මිනිහෝ ඒක හොඳ වෙන්නේ?" යැයි ගුගුලේය. 

"මාස්ටර් එහෙම නොකලා නම් මාත් අද මිනීමස් බුදින්නන්ගේ කුස ඇතුලේ" සේවකයා යටහත් ලෙස කීවෙය.

-ධනවතෙකු වීමේ මග: 16 වන පරිච්චේදය.  

********************************************

කසඛස්ථානයෙන් පැමිණ ටික කලකින් බයන්දේ සමග සිදු කල හැදෑරීම් ආශ්‍රයෙන් අපි දෙදෙනා එකතුව පර්යේෂණ පත්‍රිකාවක් සකස් කළෙමු. එය අපි මුලින් JCR Q3 (පර්යේෂකයන් මේ ගැන දනී) සඟරාවකට යොමු කළෙමු. සති කිහිපයකින් කරුණු ගණනාවක් මත එය ප්‍රතික්ෂේප කර තිබුණි. එම පත්‍රිකාව මගේ මූලික විෂය ක්‍ෂේත්‍රයෙන් තරමක් ඈත වූ බැවින් මා බයන්දෙට පැවසුවේ අප මේ අදහස අතහැර දමමු කියාය. 

බයන්දේ මට ඉහත කතාව සිහි ගැන්වීය. 

තරමක් වෙහෙසකර ප්‍රයත්නයකින් පසු අපි තිබූ අඩුපාඩු කම් මගහරවා එය Q2 සඟරාවකට ඉදිරිපත් කළෙමු. වසරකට පමණ පසු ප්‍රතිඵල ලැබුණි. එවරද එය ප්‍රතික්ෂේප වී තිබුණි. බයන්දේ නැවතත් කතාව මතක් කළේය. එවර බොහෝ කරුණු ඉදිරිපත් වී තිබුණේ අප ක්‍රමවේදය ඉදිරිපත් කිරීමේදී කර තිබූ අඩුපාඩු ගැනය. නැවතත් අපි අවධානය යොමු කර මේ අඩුපාඩු සකසා ගතිමු. ඉන්පසු එය Q1 සඟරාවකට ඉදිරිපත් කළෙමු. සංශෝධන දෙකකට පසු එය එම සඟරාව විසින් පිළිගන්නා ලදී. 

පසුගිය දෙසැම්බර් මාසයේ එය පලවූ විට බයන්දේ මට විද්‍යුත් පණිවිඩයක් ඒවා තිබුණි. 

"චන්දිම පලවෙනි දෙපාරම paper එක reject වුනේ නැත්නම් අපිට Q1 paper එකක් ලැබෙන්නේ නැහැනේ?" 

      



Tuesday, 10 April 2018

සුප් එක සමග සෙට් වෙමු (Instead of Arrack)



මේ දෙහිවල හන්දියේ "මියාමි රෙස්ටුරන්ට්" එක පැවති සමයයි. එය වසර 1994 වන්නට ඇතැයි සිතමි. එවකට මගේ ලඟම මිත්‍රයා වූ ශාන්තත්, මමත්, තවත් යහළුවන් කිහිප දෙනෙකුත් සවස් යාමයේ මියාමි එකට ගොඩ වැදුනේ බියර් වීදුරුවක් තොල ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදීමටයි.

"සර්, අද පෝයනෙ, බියර් සර්ව් කරන්නේ නැහැ." සුපුරුදු වේටර් මහත්මයා අපගේ මේසය අසලට පැමිණ පැවසීය.

"මාර කේස් එක. දැන් මොකද කරන්නේ" බලාපොරොත්තු සුන් වූ ස්වරයෙන් ශාන්ත ඇසීය.

"වෙන කොහෙට ගියත් මෙච්චරයිනේ" මම කීවෙමි.

ටික වෙලාවක් අපි ඊළඟ පියවර ගැන කතා බහ කළෙමු. 

"මචං එහෙනම් අපි සුප් එකක් ගහමු" එක් මිතුරෙක් පැවසීය.

"ගූඩ් අයිඩියා" ශාන්ත පැවසීය. 

එදා අපි රෑ 12 පමණ වනතෙක් සුප් බිව්වෙමු. අපගේ කතා බහ, තර්ක විතර්ක, විහිළු තහළු මෙන්ම මහා හඬින් සිනාවීමද වෙනදා මෙන්ම විය. වෙනදාට තරමක් වෙහෙසකර අයුරින් ගෙවෙන අවසාන හෝරාවද එදා ඉතා ප්‍රාණවත් විය.

හරියටම ඊට වසර දහයකට පසු මම වැඩමුළුවක් පැවැත්වීම සඳහා භූතානයට ගියෙමි. මගේ භූතාන් සඟයෝ සැමදාම පාහේ සන්ධ්‍යා කාලය ගත කරන්නේ මදු විත තොලගාමින් කතා බහේ යෙදෙමිනි. මද රස්නයෙන් යුත් උණු වතුර හා මුසු කල බ්‍රැන්ඩි ඔවුන්ගේ ප්‍රියතම පානයයි.

එදා දෙසැම්බර් 26 වනදාය (දිනය තවමත් මතක ඇයිදැයි ඔබ දනී). 

"චන්දිම, අද වියලි දවසක් (Chandima today is a dry day). අද අපි කරන්නේ සුප් බොන එක". කුමක් හෝ හේතුවක් නිසා එදින භූතානයේ මත්පැන් තහනම් දිනයකි. අපි වෙනදා මෙන්ම රෑ වෙන තෙක් උණුසුම් සුප් කෝප්ප තොලගාමින් සතුටු වුනෙමු. බ්‍රැන්ඩි වෙනුවට ඇත්තේ දියාරුවට සැදූ එළවලු සුපයක් බව මට දැනුනේ වත් නැත. 

තවත් අවුරුදු 10ට පසු, චීනයේ බෙයිජිං නුවරදී නැවතත් මම මේ අත්දැකීම ලැබුවෙමි. MH 370 අංක දරණ ගුවන් යානය අතුරුදන් වන්න සති දෙකකට ඉහත, සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා මම එම ගුවන් යානයේම බෙයිජිං නුවරට ගියෙමි.  එහිදී හොංකොං ජාතික යුවලක් මා සමග ඉතා කුළුපඟ විය. ඔවුන් සැමදාම රාත්‍රී භෝජනයට පසු එදින බුෆේ මේසයේ ඇති සුප් අතරින් වඩාත් දියරමය වන සුප් වර්ගයෙන් කෝප්පයක් පුරවාගෙන දීර්ඝ කතා බහකට අවතීර්ණ වෙයි. මමද ඔවුන් අනුගමනය කලෙමි. සුප් කෝප්පය තොලගාන අතර අපි ඉතා රසවත් මාතෘකා ඔස්සේ කතා බහ කළෙමු. මෙම පශ්චාත්-රාත්‍රී-ආහාර සුප් පානය පිළිබඳව දිනක් මම ඔවුන්ගෙන් ඇසුවෙමි. 

"චන්දිම, මමත් මගේ බිරිඳ ජුලියානත්, අපගේ සමීප මිතුරන් කිහිප දෙනෙකුත් දිනපතා රාත්‍රී වනතෙක් මත්පැන් පානය කරන්න පුරුදු වී සිටියා. මත්පැන් වීදුරුවත් සමගම ඇතිවන කතා බහ හරිම සුන්දරයි. මේ නිසා අපිට එය නවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ." මගේ මිතුරා කියාගෙන යයි. 

"මේ අතරේ ජූලියානා දරුණු ලෙස රෝගාතුර වුනා. ඇයට මත්පැන් පානය වෛද්‍යවරුන් විසින් තහනම් කළා. අපිට මේක බලවත් පාඩුවක් වුනා. මගේ යහළුවෙක් යෝජනා කළා මේ ගැන කොන්ෆුසියස් දහම ප්‍රගුණ කරන ගුරුවරයෙකු හමුවී උපදෙසක් ගන්න." 

"කොන්ෆුසියස් ගුරුතුමා යෝජනා කළා සැමදාම රාත්‍රී මත්පැන් වෙනුවට විශේෂ ඖෂධීය සුප් පානයක් සමග අපගේ කතා බහ  පවත්වන්න. ඔහු ඒ සඳහා සුප් වට්ටෝරුවක් (recipe) ලබා දුන්නා. අපිට ඉක්මනින්ම වැටහුනා සුප් එක මත්පැන් විදුරුවටත් වඩා හොඳින් මිත්‍රත්වය පරිපුර්ණ කරන බව". 

"ටික කලක් යන විට අපිට මේ ඖෂධීය සුප් එක ඇති වුනා. අපි නැවතත් ගුරුතුමාව හමුවී ඇසුවා මේ සඳහා වෙනත් වට්ටෝරුවක් ලියා දෙන්න බැරිද කියා. ඔහු මහා හඬින්  සිනාසෙමින් කියා සිටියා ඔහු කලින් දුන් වට්ටෝරුවේ කිසිම විශේෂත්වයක් නැති බවත්, අපිට ඕනෑම සුප් එකක් මේ සඳහා යොදාගත හැකි බවත්. විශේෂ යැයි කියා සුප් වට්ටෝරුවක් දීමෙන්  ඔහු කර ඇත්තේ අපගේ සිත් තුල මේ පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමයි".

"ඉතින් එදා ඉඳන් අපි මේ පුරුද්ද කරගෙන යනවා". ඔහු කතාව නිම කළේය. 

අප සමාජයේ මත්පැන් පානය කරන්නන් දෙවර්ගයකි. එනම් මත් වීම සඳහාම මත්පැන් බොන උදවිය සහ සෙට් වීම සඳහා මත්පැන් බොන උදවියයි. එයින් පළමු කාණ්ඩයට මේ ලිපිය අදාළ නැත. එහෙත් දෙවෙනි කාණ්ඩයට මෙය  වැදගත් විය හැක. 

සෙට් වෙන්න මත්පැන් පානය කරන පිරිසගේ අවශ්‍යතාවය වන්නේ කතා බහ  අතරතුර බඩ නොපිරෙන යමක් ආහාරයට ගැනීම සහ එතුලින් යම් චිත්ත ප්‍රබෝධයක් ඇති කරගැනීමයි. උකු නොවන ලෙස සැදූ උණුසුම් සුප් කෝප්පය මේ අවශ්‍යතාවය මනාව ඉටු කරයි. 

මෙහිදී කටු සහිත කුකුළු මස් සහ එළවලු හෝ එළවලු පමණක් යොදාගෙන සාදන සුප් එකක් ඉතා යෝග්‍ය වෙයි. සුප් එක බ්ලෙන්ඩ් නොකිරීමට වග බලා ගන්න. එලෙසම සුප් එක සෑදීමේදී සේර ගහක් සහ ඉඟුරු ස්වල්පයක් එකතු කිරීමද එහි "කික් එක" වැඩි කිරීමට හේතු වෙයි. සුප් සෑදීමේදී තෙල් වර්ග භාවිතය හැකිතාක් අවම කරන්න. සුප් පානය කල යුත්තේ උණුසුම්වය. එබැවින් මුළු සුප් එකම එකවර මේසය මත තැබීමෙන් වලකින්න. වරින් වර රත් කල සුප් ගෙනවිත් බඳුන පුරවන්න. බොහෝ සුප් වර්ග සමග සාමාන්‍යයෙන් භාවිතා කරන ඕනෑම බයිට් එකක් පෑහෙයි.

සුප් එක සමග සෙට් වීමේ ධනාත්මක ඵල බොහෝය. මෙයට කාන්තා පාර්ශවයටද චකිතයකින් තොරව සහභාගී විය හැක. පසුදා අවදි වන විට හිසරදයක් හෝ හිතේ ලැජ්ජාවක් හටගන්නේද නැත. සිරුරටත් සාක්කුවටත් දෙකටම හොඳය. 

මෙහි ඇති සෘණාත්මක පස නම් සෙට් වීමේ අවසාන භාගයේදී අවට සිටින්නන්ට අත්දැකීමට ලැබෙන හාස්‍ය, ත්‍රාසය සහ ජුගුප්සාජනක සිදුවීම් සපිරි ජවනිකා වියැකී යාමයි. 

ලබන්න වූ සිංහල-දෙමළ අළුත් අවුරුද්දට පර්යේෂණාත්මක මට්ටමින් හෝ සුප් එක සමග සෙට් වී වෙනස වටහා ගන්න. 


Thursday, 5 April 2018

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න


"සුරංගනාවිය මාත් එක්ක අපේ ගෙදර වහල උඩට නැග්ගා. එයාට ලොකු පියාපත් දෙකක් තියෙනවා. එයා ඊට පස්සේ මාව තුරුල් කරගෙන පියාඹන්න පටන්ගත්තා. අපි පාරාදීසයට ගියා. එහෙදි එයා මට පෝනි කෙනෙක් දුන්නා" කුඩා අයේෂා තමා දුටු සිහිනය සුරතල් හඬින් විස්තර කරයි. වෙනත් මැලේසියානු දරුවෙකුට වඩා ඇයගේ ඉංග්‍රීසි බස හැසිරවීම ඉතා විශිෂ්ඨය.

"බොරු කියන්න එපා අයේෂා", ඇයගේ මව ලැජ්ජාවෙන් මෙන් කීවාය. තම දියණිය බොරු වැලක් කියතියි ඇය සිතන බව ඇයගේ ඉරියව් වලින් පිළිබිඹු වෙයි. 

"කොහොමද ඔයා දන්නේ අයේෂා බොරු කියනවා කියලා" මම නොරිස්සුමෙන් මෙන් ඇයගෙන් ඇසුවෙමි.

"එයා හැමදාම උදේට ඔය වගේ හීන ගැන ගොතල කියනවා".

"එය අයේෂාගේ සිහිනයයි. සිහිනයක අයිතිය ඇත්තේ සිහිනය දකින්නාටයි. එය පිළිගනිම හෝ නොපිළිගැනීම අනෙක් අයගේ අයිතියක්. ඒත් කෙනෙකුගේ සිහිනය ඇත්තද, බොරුද කියා තර්ක කිරීමට කිසිවෙකුටත් නොහැක." මම අයේෂාගේ මවට  විස්තර කලෙමි.

අයේෂා මගේ ප්‍රකාශය ගැන බොහෝ සේ සතුටට පත් වූ අයුරු පෙනෙන්නට තිබුණි. මා ඇගේ මවට කියූ දේ ඇයට තේරුණාදැයි මම නොදනිමි. එහෙත් බොහෝ කලකින් ඇයට තමාගේ සිහින පිළිබඳව විශ්වාසය පළ කරන කෙනෙක් හමු වී ඇත.


*******************************************


"ඔබ දෙවියන්වහන්සේ සිටින බව පිළිගන්නවද?" දේව වාදී ආගම් අදහන බොහෝ දෙනෙක් මගෙන් මේ ප්‍රශනය අසයි. මම 'ඔව්' යන පිළිතුර දුන හොත් ඔවුන් බොහෝ සේ සතුටු වෙයි. පිළිතුර 'නැත' යන්න නම් ඔවුන් එතැන් සිට තව ප්‍රශ්න වැලක් අසයි.

බෞද්ධයන්ද, මෑතක සිට නිරගමිකයන් ලෙස හඳුන්වාගන්නා පිරිසද මේ පැනය කිහිප විටක් මගෙන් අසා ඇත. මෙහිදී ඉහත සඳහන් පිළිතුරු දෙකට ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයන්ය.

මාගේ පිළිතුර වන්නේ මේ දෙකම නොව "මම නොදනිමි" යන්නයි. එය අමරාවික්ෂේප වාදයකට වඩා සත්‍යය ඒ ලෙසටම පවසිමකි. මට දෙවියන් වහන්සේ සිටිනවා යයි හෝ එබඳු ප්‍රපංචයක් නැත යයි පරිකල්පනය කල හැක. ඉන් ඔබ්බට ඒ පිළිබඳව කිසිවක්  මා දන්නේ නැත. නොදන්නා නිසා දෙවියන්වහන්සේ ඇතැයි පිළිගැනීමට හෝ නැතැයි ප්‍රතික්ෂේප කිරීමට මා සුදානම් නැත. දෙවියන් ඇතත් නැතත් මට ඒ ගැන විශේෂ හැඟීමක්ද නැත.

"දෙවියන්වහන්සේ නැතිනම් ඔබ සාමයෙන් සිටින්න. ඇති නම් ඇයට සාමයෙන් සිටීමට ඉඩහරින්න" මම බොහෝ විට සිනහ මුසු මුහුණෙන් ඔවුන්ට පවසමි.

දැන් ඔවුන් අතර ඉමහත් ව්‍යාකූලත්වයකි. දෙවියන්වහන්සේ ගැහැනියෙක්ද, පිරිමියෙක්ද? හෙතෙම සුදුද කළුද? රැවුල ඇත්ද නැත්ද? එම ප්‍රපංචයට අප යාඥා කල යුතුද නැද්ද? ඒ වෙනුවෙන් අප සේවය කල යුතුද නැත්ද?....... එය එකම අවුල් ජාලයකි.

තමා නමැති ප්‍රපංචයට පරිබාහිරව ඇති සියළු දේ පාලනය කරන සුපිරි බලවේගයක් ඇති බව සියළුම ආගමිකයෝ සලකති.  ඒබ්‍රහමීය ආගම් මෙය දෙවියන් වහන්සේ ලෙසද, බෞද්ධයෝ සහ ජෛනයෝ මෙය කර්මය ලෙසද, හින්දු බැතිමතුන් මෙය දෙවියන්ගේ සහ කර්මයේ සංකලනයක් ලෙසද හඳුන්වති. එම සුපිරි බලවේගයට (දෙවියන් වහන්සේට) යාඥා කිරීමෙන් සහ තම ආගමට අදාළ "යහපත් දේ" කිරීමෙන් එහි ඵල විපාක යම්තාක් වෙනස් කර ගත හැකි බව දේවවාදියෝ සිතන අතර තම ආගමට අදාළ "යහපත් දේ" කිරීමෙන් පමණක් කර්මයෙහි ඵල විපාක යම්තාක් දුරකට වෙනස් කර ගත හැකිබව කර්මවාදියෝ සිතති. මේ දෙකොටසෙහිම ඇත්තේ තමන්ට නොතේරෙන බාහිර බලවේගයක් පිළිබඳව ඇති පරිකල්පනයකි (imagination). එම පරිකල්පනය දැරීම ඔවුන්ගේ පරම අයිතියකි. ඒ ගැන විවේචනය කිරීමේ බලයක් හෝ අවශ්‍යතාවයක්  මට නැත. 

ඔවුහු තම පරිකල්පනයන් වෙනුවෙන් යුධ වදිති. තමාගේ පරිකල්පනය තමාගේ අයිතියක් බව ඔවුන්ට නොතේරෙයි. දෙවියන් වහන්සේ හෝ කර්මය ඇතැයි හෝ නැතැයි යන්නද ඇත්නම් ඒ ප්‍රපංචයේ ස්වභාවය පිළිබඳවද තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වා ගත හැකි බව ඔවුහු නොසිතති. මේ වෙනුවට ඔවුහු අනුන්ගේ පරිකල්පන පිළිබඳව වද වෙති. තමාගේ පරිකල්පනය අනෙකාගේ පරිකල්පනය සමග සසදන්න උත්සහ කරති. එයින් නොනැවතී තම පරිකල්පනය අනුන්ගේ මනසට ඇතුළු කරන්නට වෙහෙසෙති.

ආගමක හරය පිළිබඳව තර්ක කිරීම හොඳම සිහිනය තෝරනවා වැනි අමනෝඥ ක්‍රියාවකි. අපට තර්ක කල හැක්කේ ආගමේ නාමයෙන් පුද්ගලයන් සිදු කරන ක්‍රියාවන් ගැන පමණි.

ආගම් පමණක් නොව නුතන බටහිර විද්‍යාවද පදනම් වන්නේ පරිකල්පනයන් මතය. එහෙත් සියළු ආගම් (බුද්ධාගමද ඇතුළුව) බටහිර විද්‍යාවෙන් වෙනස් වන එක් ප්‍රධාන සාධකයක් ඇත. එනම් ඕනෑම විද්‍යාත්මක කරුණක් වැරදීමේ සම්භාවිතාවයක් ඇති බව විද්‍යාඥයා පිළිගැනීමයි. මේ නිසා විද්‍යාව ප්‍රශ්න කල හැක. විද්‍යාවට අභියෝග කල හැක. එහෙත් ආගමක ඇතුළත් කරුණු වැරදීමට ඇති සම්භාවිතාව බින්දුවක් ලෙස ආගම් භක්තිකයා දැඩි ලෙස පිළිගනී. මේ නිසා ආගම ප්‍රශ්න කල නොහැක. ආගමට අභියෝග කල නොහැක.

විද්‍යාව වෙනස්වෙමින් ඉදිරියට ඇදෙද්දී සියලු ආගම් වසර දහසකටත් වඩා අතීතයේ කාල අවකාශය තුල නතර වී ඇත්තේ මේ නිසාය.


**********************************************




මිනිසෙකුගේ ශරීරය තුල ඔහුගේ දෙමව්පියන්, ගති ලක්ෂණ, ස්ත්‍රී පුරුෂ භාවය සහ රූප ස්වභාවය පිළිබඳව දත්ත අඩංගු වෙයි.  තමන්ගේ ජාතිය (මානව වර්ගය) පිළිබඳවද යම් ප්‍රමාණයකට තොරතුරු මෙම ගබඩාවේ ඇත. විශේෂයෙන්ම කෙනෙකුගේ රූප ස්වභාවය මීට අදාලව පිටතින් පෙනෙන ලක්ෂණයකි. මීට අමතරව ඉපදුන රටද භෞතික දත්තයකි. 

එහෙත් කෙනෙකුගේ ආගම යනු 100% ම පරිකල්පනයකි. මව විසින් රෝහලේ දමා යන දරුවෙකු පිළිබඳව සලකන්න. මෙම දරුවා රැක බලා ගැනීමට මව්පියන් වශයෙන් දෙපලක් ඉදිරිපත් වෙයි. කෙදිනක හෝ මෙම දරුවාගේ ආගම තීරණය වන්නේ එම හදාගන්නා දෙමව්පියන්ගේ ආගමික අභිමතයන්ට අනුකූලවය. දරුවාගේ සැබෑ මාපියන්ගේ කුමන ගති ලක්ෂණ ඔහුගේ ජාන වල තිබුනත් ඔවුන්ගේ ආගමෙහි අංශු මාත්‍රයක්වත් දරුවා කෙරේ නොපිහිටයි. මේ සත්‍ය තේරුම් ගැනීමට බොහෝ දෙනා අකමැතිය. මන්ද ආගම මිනිසා එතරම්ම තදින් මනසේ කොටා ගෙන ඇති බැවිනි.

නූතන මානවයා බිහිවී වසර 200,000 පමණ ගතවී ඇති බව දැනට අනුමාන කෙරේ. මානව ශිෂ්ඨාචාරය (මෙම වදන මතබේදාත්මකය) ඇතිවී අඩුම තරමින් වසර 20,000 ක් ගතවී ඇත. වර්තමානයේ අප අතර පවතින ආගම් පිළිබඳව කිසිඳු දැනීමක් නොමැතිව වසර දහස් ගණනක් බිලියන සංඛ්‍යාත මිනිස් සමුහයක් ඉපද මිය ගියහ. අද දක්වාම ලෝකයේ බිලියන ගණනක් ජනතාව ඒබ්‍රහමීය ආගම් ගැන නොදනී. බිලියන ගණනක් ජනතාව හින්දු දර්ශනය පිළිබඳව නොදනී, ඊටත් වැඩි ප්‍රමාණයක් බෞද්ධ දර්ශනය ගැන නොදනී. මීට අමතරව වෙනත් ආගම් අදහන්නන්ද, නිරාගමිකයන් බොහෝ පිරිසක්ද වෙසෙති. මේ හැම දෙනාම සතුටින්, දුකෙන් හෝ ඒ දෙකේ මිශ්‍රණයකින් යුතුව ජීවත්වී මියයති. අදහන ආගමෙන් 100% ස්වායත්තව ඔවුන් ස්වභාවික ආපදා, දුර්භීක්‍ෂ සහ යුද්ධ වලට මුහුණ දෙති.  

එහෙත් ආගම් අදහන සියලු දෙනාද නිරාගමික සියලු දෙනාද සිතන්නේ තමා අයත් වන උප කුලකය පමණක් තම ආගම නිසා හෝ ආගමකට අයත් නොවීම නිසා සතුටින් සිටින බවයි. මෙය එකවර සිදුවිය නොහැක්කක් බව ඉතා සරල දැනුමකි. 

මේ අනුව ආගම් ඇදහීම, නොඇදහිම හෝ අදහන ආගම මත භාග්‍යවන්ත හෝ අභාග්‍යවන්ත මිනිසෙකු බිහි නොවන බව පැහැදිලිය. 

මා ඉස්ලාම් භක්තිකයකුගෙන් වරක් මෙලෙස ඇසුවෙමි. 

"ස්වීඩනයේ ජනතාවගෙන් අති බහුතරයක් ක්‍රිස්තියානිවරුන්ය. එහෙත් ඔවුන් ඉතා හොඳ ජීවන තත්වයක් සහිතව සතුටින් ජීවත්වී මියයති. පකිස්තානු ජාතිකයන්ගෙන් අති බහුතරයක් ඉස්ලාම් භක්තිකයන්ය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙක් ඉතා කටුක ජිවිත ගතකරති. අසතුටින් ජිවත්වන ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අවස්ථාවක් ලද විගස වෙනත් දියුණු රටකට පැනගැනීමට මාන බලමින් සිටිති. එසේ නම් ඉස්ලාම් ආගම ඇදහීමෙන් ඔවුන්ට කිසිඳු සුගතියක් වී ඇත්ද?".

ඔහු ක්ෂණිකයෙන් පිළිතුරු දුන්නේය.

"ඔවුන්ගේ (ස්වීඩන් ජාතිකයන්ගේ) සතුට රැඳී ඇත්තේ මෙලොව ජිවත්වන තෙක් පමණයි. මරණින් පසු මුස්ලිම් භක්තිකයන් දිව්‍යලෝකයේ ඉතා සැපෙන් සිටිනු ඇත. එහෙත් ක්‍රිස්තියානි භක්තිකයන්  අපායේ ගිනිදැල් මත සදා දුක් විඳිනු ඇත".

දැන් මුස්ලිම් නොවන ඔබ මෙම පිළිතුර හාස්‍යයට ලක් කරනු ඇත. එහෙත් ඔබ සියලුම දෙනා සිතන්නේ මෙලෙස නොවේද? ඉතා සැපවත් ජිවිතයක් ගතකරන මස් කඩ මුදලාලි මරණින් මතු අවීචි මහා නරකාදියට වැටෙතැයි සිතා බෞද්ධ ඔබ සිත සනසා ගනියි. දෙවියන්වහන්සේට කිසි දිනෙක යාඥා නොකළ බෞද්ධ ධනවතා මරණින් මතු අපා ගතවෙතැයි සිතා ක්‍රිස්තියානි ඔබ සිත නිවා ගනී. අපට ප්‍රත්‍යක්‍ෂ නොවන, මරණින් මතු පැවැත්මක් වෙනුවෙන් මේ ජිවිතයේ බොහෝ දේ කැපකරමින් ආගමිකයන් දුක් විඳින බව නිරාගමිකයන් පවසනු මා අසා ඇත. එහෙත් ඒ නිරාගමිකයන් කිසිවෙකුටත් මරණින් මතු පැවැත්මක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂත්  නැත. 

ඉහත කරුණු අනුව තම ආගම සුපිරි ලෙස සැලකීමට සෑම ආගමිකයකුටම ඇත්තේ එකම එක කරුණකි. එනම් මරණයෙන් මතු පැවැත්මයි. සෑම ආගමකම පවසන්නේ තම ආගම අනුව කටයුතු කිරීම මගින් මරණින් මතු පැවැත්ම සඳහා සුගතියක් සැලසෙන බවයි. සියලු ඒක-දේව ආගම්වල මරණින් මතු පැවැත්ම දිව්‍ය ලෝකය / අපාය ලෙසද බෞද්ධ සහ හින්දු වැනි ආගම්වල පුනරුත්පත්තිය/පුනර්භවය ආදී සංකල්ප ලෙසද හැඳින්වේ. 

මේ මරණින් මතු පැවැත්ම හැම දෙනෙකුටම පාහේ පරිකල්පනයක් (imagination) නොවන්නේද?  දැනට පවතින භෞතික දැනුම් සම්භාරය තුල මෙම කරුණ සාක්ෂාත් කරගත හැක්කේ මරණින් මතු පමණි. එතෙක් එය පරිකල්පනයකි. සමහර විට කෙනෙකුට යම් යම් ක්‍රමවේදයන් තුලින් මෙම කරුණ මෙම ජීවිතය තුලදීම ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිවන්නට ඉඩකඩ තිබේ. එහෙත් එය එම පුද්ගලයාට පමණක් ග්‍රහණය වන ප්‍රත්‍යක්‍ෂයකි. එනම් වෙනෙකෙකුට ප්‍රත්‍යක්‍ෂ කල නොහැකි තමාට පමණක් විඳිය හැකි බුද්ධිමය දේපලකි.

තමා භාවනාවෙන් මනස වැඩි දියුණු කරගෙන සිය පෙර ආත්මය සහ ඊළඟ ආත්මය දුටු බව කිහිප දෙනෙක් මා සමග පවසා ඇත. එසේම දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටින විට තමා ඉදිරියේ දේව දූතයන් හෝ ජේසුස් වහන්සේ දර්ශනය වී මරණින් මතු තමා ස්වර්ග රාජ්‍යයට පිවිසෙන බව කීවේ යැයි මා සමග කිහිප දෙනෙක් පවසා ඇත. ඔවුන් එක් කෙනෙක්වත් පවසන දෙය අසත්‍ය යයි මට කිව නොහැක. එසේම සත්‍ය යයි කීමටද නොහැක. එය පිළිගනිම හෝ නොගැනීම 100% ම මගේ අයිතියකි. එය පිළිගනිම හෝ නොපිළිගැනීම පිළිබඳව කිසිවෙකුටත් කරුණු පැහැදිලි කිරිමටද මම බැඳී නොසිටිමි. 

මරණින් මතු පැවැත්ම තීරණය කරන්නේ දෙවියන් වහන්සේ විසින් බව ඒබ්‍රහමීය ආගම් අදහන්නෝ පරිකල්පනය කරති. එය කර්මය පෙරටු කරගත් ධර්මතාවයක් විසින් සිදු කරන බව බෞද්ධ සහ ජෛන ආගමිකයෝ පරිකල්පනය කරති. බොහෝ හින්දුවරු මේ සඳහා කර්මයේ මෙන්ම දෙවිවරුන්ගේද අදාළත්වයක් ඇති බව පරිකල්පනය කරති. දැන් බෞද්ධයන් බොහෝ දෙනෙකුද මෙම ලෝක පාලන බලතල යම් ප්‍රමාණයකට නොයෙකුත් දෙවි දේවතාවුන් අතට දී ඇති බව පෙනෙයි. ඒ අනුව "මම" යන භූතාර්තයට පරිබාහිරව ඇති යමක් මෙම මරණින් මතු පැවැත්ම තීරණය කරන බව බොහෝ දෙනාගේ අදහසයි.

මා සිතනා ආකාරයට මෙම "මරණින් මතු පැවැත්ම" නමැති පරිකල්පිත සංකල්පය මිනිස් ශිෂ්ඨාචාරයේ අතිශයින් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.

මිනිසා තනි තනිව හෝ කුඩා පවුල් ඒකකයක් ලෙස ජිවත් වන තාක් කල් මරණින් මතු පැවැත්මක් නැතැයි යන සංකල්පය දැරීමේ විශාල ගැටළුවක් මතු වන්නට නැත. එහෙත් ඔහු සමුහයක් වශයෙන් ජිවත් වීම ඇරඹු දා සිට මිනිස් මනස පාලනය කිරීමට මෙම සංකල්පය බොහෝ සෙයින් වැදගත් වන්නට ඇත. නොඑසේ නම් පුද්ගලයෙකුට ඕනෑම අවැඩ ක්‍රියාවක් සිදු කිරීමේ නිදහස ලබෙනුයේය. 

මරණින් මතු පැවැත්ම පිලිබඳ සංකල්පය පුද්ගල මනස වගකීමේ ක්‍රියාවලියකට ඇතුළු කරයි. එසේ නොවන්නට ලෝකය මීට වඩා ඉතා භයානක කටුක පරිසරයක් වන්නට තිබුණි. ස්වභාව ධර්මයේ ආන්තික සිදුවීම් වලට ඇති බිය පදනම් කරගෙන බිහි වූ ආගම් මරණින් මතු පැවැත්ම දක්වා වර්ධනය වන්නේ සමාජයේ යහ පැවැත්ම සඳහා වන්නට ඇත. නීතිය ලෙසින් සංකල්පයක් බිහිවන්නේ මෙහි ඊළඟ පියවර ලෙසයි.


******************************************




අයේෂාගේ සිහිනය භුක්ති විඳීමට අයේෂාට ඇති අයිතිය සේම, තම ආගමෙහි පවසන දේ භුක්ති විඳීමට තමාට අයිතියක් ඇත. එහෙත් ශිෂ්ඨ සමාජයක වැදගත්ම කරුණ නම් මේ පරිකල්පනය භුක්ති විඳීමට ඔබට අයිතිය ඇත්තේ වෙනත් අයෙකුට හිංසාවක් වධයක් නොවන සීමාව තුල පමණක් වීමයි.  

යම් ආගමක ඇති පරිකල්පිත සංකල්ප තවෙකෙකු මත බලහත්කාරයෙන් පැටවීමට කිසිවෙකුටත් අයිතියක් නැත. එලෙසම තම ආගම වෙනුවෙන් වෙනත් කිසිම අයෙකුගේ පරිකල්පනයට හෝ යහපැවැත්මට බාධා කිරීමටද කිසිවකුට අයිතියක් නැත. ආගම හා බැඳි සමාජ සංස්කෘතිය මේ අයිතියක් නැති බව පිළිගන්නා තෙක් එම සමාජය ශිෂ්ඨ වන්නේද නැත. රැකිය යුත්තේ ආගම නමැති පරිකල්පනය නොව මෙම "අනෙකාගේ පරිකල්පනයට බාධා කිරීමට අයිතියක් නැත" යන සංකල්පයයි. 

අපි විසි එක් වෙනි සියවසේද තුන්වෙනි දශකය වෙත තව වසර දෙකකින් පියනගන්න බලාගෙන සිටිමු. එවන් ලෝකයක තමන්ගේ පරිකල්පනය වෙනුවෙන් යුද්ධ කිරීමට සැදී පැහැදී සිටින සමාජයක් ඇත්නම් එය ගෙන ගොස් තැබිය යුත්තේ සහශ්‍රයකටත් එපිට කාල-අවකාශ ලක්ෂයකය. විද්‍යාව දියුණු කල යුත්තේ මේ කාල යාත්‍රාව සැබෑවක් කරගැනීම සඳහාය. 

*******************************************

පුනරුප්පත්තිය පිළිබඳව නොයෙකුත් පර්යේෂණ සිදු කර ඇත. එලෙසම දෙවියන් දැකීම, තාවකාලික මරණයකදී දිව්‍යලෝකයට හෝ අපායට පිවිස නැවත පැමිණි පුද්ගලයන් ගැන, කිහිප දෙනෙකුට එකවර දේව දර්ශනයක් සිදුවීම ගැන සඳහන්වන පර්යේෂණ රාශියක් පිළිබඳවද විද්‍යා සාහිත්‍යයේ සඳහන් වේ. එහෙත් මේ සෑම පර්යේෂණයකම තවමත් ගැටළු රාශියක් පවතී. ඒවා ප්‍රතිනිරුපණය (replicate) කල නොහැකි වීම මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවයකි. කෙසේ වුවත් ඕනෑම අයෙකුට මේවා පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතියක් ඇත.