Sunday, 25 February 2018

එය ඔබගේ පරිකල්පනයයි - That's your imagination


මේ කථාව සිදුවන්නේ මීට වසර තුනකට පමණ පෙරය. සියලු දෙනාගේ හිත සුව පිණිස මම මේ කථාව නොලියා සිටීමට අධිෂ්ඨාන කරගතිමි. එහෙත් මාගේ බොහෝ අධිෂ්ථාන සේම මෙයද කාලයා සමග වියැකී ගියේය. එබැවින් මම එය මෙලෙසින් වදන් වලට හරවමි.

දිනක් මගේ හිත මිතුරු කාසිම් සහ ෂියා අප නිවසේ රාත්‍රී ආහාරය සඳහා පැමිණියෝය. ඔවුන් සමග ශේෂාඩ්ද පැමිණ සිටියේය. පකිස්ථානු ජාතික කාසිම් සහ ෂියා සමග මා තුල තිබුණේ මිතුරුදමකටත් වඩා සහෝදරත්වයකි. අපි ව්‍යාපාරික හවුල්කරුවෝද වූයෙමු. ඉතා විනෝදකාමී පුද්ගලයකු වන ෂියා කැනේඩියානු පුරවැසියෙකි. එබැවින් මා ඔහුව නිතර හමුවුණේ නැත. එහෙත් කාසිම් සාමාන්‍යයෙන් එකල මාස කිහිපයකට වරක් මැලේසියාවට පැමිණෙයි. 

අපි හමුවූ විට දහසකුත් දේ ගැන පැය ගණනක් කථා කළෙමු. එහෙත් ආගම අපේ මාතෘකාවක් වන්නේ ඉතාම කලාතුරකිනි. ඒද එමගින් අපිට ව්‍යාපාරික කටයුත්තකට නිමිත්තක් සාදා ගත හැකි නම් පමණි. උදාහරණයක් ලෙස අප අවසන් වරට හමුවූ විට කතාබහ කලේ සෞදි අරාබිය වෙතින් වේගයෙන් ගිලිහී යන මුස්ලිම් ලෝකයේ ආධිපත්‍ය පකිස්ථානයට නතු කරගත හැකි ආකාරය පිළිබඳවයි. එමගින් ගොඩනැගිය හැකි ව්‍යාපාරික ආකෘති පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළෙමු.

ශේෂාඩ් මැලේසියාවේ පදිංචි පකිස්ථානු ජාතිකයෙකි. ඔහු අපගේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා වරාය වාප්පු සේවා සැපයිය. ඔහු අප නිවසට පැමිණි ප්‍රථම මෙන්ම අවසන් වතාවද එයයි. 

කාසිම්, ෂියා සහ මා අතර වූ නොලියවුන රීතිය පිළිබඳව නොදත් ශේෂාඩ් පැමිණි වෙලේ සිට නොනවත්වාම තම ආගම උත්කර්ෂයට නවන්න විය. ඔහු ආචාර්ය සක්කිර් නායක්ගේ අනුගාමිකයෙකි. ඔහු පවසන්නත් පෙරම මට ඒ බව වැටහුනේ ඔහුගේ තර්ක විතර්ක සක්කිර් නායකගේ ක්‍රමවේදයන් සමග හරියටම සමපාත වූ බැවිනි. 

කාසිම් කිහිප විටක්ම කතාව වෙනතකට ගෙනයාමට උත්සහ දැරුවත් එය නිෂ්ඵල විය. මම බොහෝ විට ශේෂාඩ් පවසන කරණා පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වමින් මුනිවත රැක්කෙමි. 

ඔහු නොයෙකුත් ආකාරයෙන් මාව කතාවට ඇද ගැනීමට උත්සහ කලත් එය සාර්ථක වුයේ නැත. ඔහු සක්කිර් නායක් කියාදී ඇති සියළුම ක්‍රම සහ උපාය මාර්ග යොදා ගන්න විය.


"මට ඔබගෙන් ප්‍රශ්ණ කිහිපයක් ඇසිය හැකිද" මගේ අනවධානය දරාගත නොහැකි වූ තැන ශේෂාඩ් ඇසීය.

මදක් සිනහසුණ මම "කිසිම ගැටළුවක් නැහැ ඔබට ඕනෑම දෙයක් ඇසිය හැකී" යැයි කිව්වෙමි. ඉන්පසු ඔහු කතාකිරීමට පෙර තවත් කොටසක් එකතු කලෙමි.

"නමුත් ඔබට හොඳටම ස්ථිරද මා දෙන පිළිතුරු ඔබට දිරවා ගත හැකිය කියා (but are you sure that you can digest my answers)" මා එසේ පැවසුවේ හේතු සහගතවය. මා කුඩා කල සිටම පුරුදු පුහුණු වී ඇත්තේ ආගම් දර්ශන පිළිබඳව බියකින් චකිතයකින් තොරව නිදහසේ සිතීමටය. ඒ සිතුවිලි වදනට නැගූ විට බොහෝ දේව වාදීන් මෙන්ම සමහර බෞද්ධයන්ද අපහසුතාවයට පත්වනු මම අත්දැක ඇත්තෙමි. 

"ඔබ ඒ ගැන වද වෙන්න එපා" ශේෂාඩ් උපහාසාත්මකව පැවසීය.

ඉන් පසු ඔහු තම පළමු පැනය ඉදිරිපත් කළේය.

"ඇයි ඔබ මෙහි ඉන්නේ (why are you  here)"

මට ඔහු අසන දෙය වැටහුනත් නොතේරුණ සේ පිළිතුරු දුනිමි. 
"මේක මගේ නිවස. ඒකයි මම මෙහෙ ඉන්නේ"

"මම ඇහුවේ ඒක නෙවෙයි. ඔබ මේ ලෝකෙට බිහිවෙලා ඉන්නේ ඇයි" ශේෂාඩ් තරමක් නොරිස්සුම් ආකාරයෙන් ප්‍රකාශ කළේය. 

"ආ ඒ මගේ දෙමව්පියන් පොඩි විනෝදාශ්වාදයක් ලබපු නිසා (That is because my parents had some fun)".  

"ඔහ් දෙවියනේ" ශේෂාඩ් ඉතා අපහසුවට මෙන්ම දැඩි නොරිස්සුම් ස්වභාවයකටද පත් විය. මගේ උපහාසාත්මක පිළිතුර ඔහුට නොවැටහේ. ඔහුගේ මුහුණේ දිස්  වුයේ "මේ මොන මෝඩයෙක්ද" යන හැඟීමයි. 

"මම අසන දේ තේරුම් ගන්න තරම් ඔබට ඉහල බුද්ධි මට්ටමක් නැහැ. ඔබ මෙලොව සිටින්නේ ලොව එකම මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේට යාඥා කිරීම පිණිසයි" ඔහු ඇසු ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දුන්නේය.

"ඒ ඔබගේ පරිකල්පනයයි (that's your imagination). එය දැරීමට ඔබට 100% අයිතිය තිබෙනවා" මම සිනහ මුසු මුහුණින් යුතුව ඔහුට පැවසුවෙමි. 

"එය පරිකල්පනයක් නොවෙයි. එයයි සත්‍යය" ශේෂාඩ්ගේ නොරිස්සුම් ස්වභාවය එන්න එන්නම වැඩි වෙයි.

"ඒකම තමයි මා එය ඔබගේ පරිකල්පනය යැයි පැවසුවේ. මැවුම්කරුවාණන් කෙනෙක් සිටින බව සහ ඔහුට යාඥා කිරීම ජිවිතයේ අරමුණ බව ඔබ පරිකල්පනය කරනවා. එහි කිසිදු වරදක් නැහැ. ඒ සඳහා ඔබට පූර්ණ අයිතිය තිබෙනවා" මම සැහැල්ලු ස්වරයෙන් පැවසුවෙමි.

මෙය ශේෂාඩ් කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් බව ඔහුගේ ඉරියව්වලින් දිස්විය. ඔහු මගෙන් බලාපොරොත්තු වන්න ඇත්තේ ඔහුගේ ප්‍රකාශයට එරෙහිව තද බල ප්‍රතිපහරයක් වන්නට ඇතැයි මට සිතේ. මුලින් තරමක් නොසන්සුන්ව සිටි කාසිම් සහ ෂියා ද මගේ සිනහමුසු පිළිතුරෙන් පසු සංවාදයට උනන්දුවක් දක්වනු පෙනුනි. 

"මෙය පරිකල්පනයක් නෙවෙයි. ඔබ එය තේරුම් ගත යුතුයි" ශේෂාඩ් තරමක රළු ස්වරයෙන් පැවසීය. එය ප්‍රකාශයකට වඩා අණ කිරීමකි.

"හොඳයි එහෙනම් ඔබ කියන්නකෝ කොහොමද ඔබ දන්නේ මැවුම්කරුවෙක් සිටින බව" මම ඇසුවෙමි.

"ඒ ගැන පැහැදිලිවම ශුද්ධ වූ ග්‍රන්ථයේ සඳහන් වෙනවා" ඔහු ඉතා ඉහල ආත්ම විශ්වාසයක් ඇතිව පැවසීය.  

"ඔබ නිවැරදී. ඔබගේ ශුද්ධවූ ග්‍රන්ථයේ සඳහන් වන බැවින් ඔබ මැවුම්කරුවාණන් පිළිබඳව හොඳ ආත්ම විශ්වාසයකින් පරිකල්පනය කරනවා. ඔබ මෙන්ම ඔබගේ මුතුන් මිත්තන්ද සිදු කර ඇත්තේ මෙයයි. ඒ පමණක් නොවෙයි ලොව ආගම් අදහන සියලුම දෙනා මෙන්ම ආගම් ප්‍රතික්ෂේප කරන සියලුදෙනාද සිදු කරන්නේ මෙයයි". මා ශේෂාඩ්ව පඹ ගාලක පැටලුවා නොවේදැයි මට සිතෙයි. ඔහු යමක් කියන්න වචන සොයයි.

"සමහර විට ඔබගේ පරිකල්පනයේ සිටින දෙවියන්වහන්සේ ඔබගේ අසල්වැසියාගේ පරිකල්පනයේ සිටින දෙවියන්වහන්සේට වඩා තරමක් වෙනස්විය හැකියි. ඊට හේතුව තොරතුරු මූලාශ්‍ර එකම වුවත් ඔබ දෙදෙනාට ඇත්තේ එකිනෙකාගෙන් ස්වායත්ත වූ පරිකල්පන නිසයි". මම දිගටම කතා කලෙමි. 

"ආගම් පිළිබඳව වාද විවාද කරගැනීම ඉතාම නිෂ්ඵල කාර්යයක්. මන්ද මෙහිදී සිදු කෙරෙන්නේ එකිනෙකාගේ පරිකල්පන අතර යුද්ධයක් (war of imaginations) නිසාවෙනි. අනෙකාට ගෝචර නොවන තමාගේ පරිකල්පනය වෙනුවෙන් යුධ වැදීමත්, තමාට ගෝචර නොවන අනෙකාගේ පරිකල්පනයට එරෙහිව යුධ වැදීමත් හාස්‍යජනක නොවන්නේද?" මා කී දෙය ශේෂාඩ්ට තේරුණා දැයි මම නොදනිමි. 

"එතකොට ඔබ කියන්නේ මැවුම්කරුවෙක් නැහැ කියාද?". ශේෂාඩ් ගේ අරමුණ මට වැටහේ. ඔහුට දැන් කාසිම්ගේ සහ ෂියාගේ සහයෝගය අවශ්‍ය වී ඇත. ඔහු මගෙන් බලාපොරොත්තුවන පිළිතුර මත කාසිම්ගේ සහ ෂියාගේ ප්‍රවිෂ්ඨය රැදී ඇතැයි ඔහු සිතන බව මට පෙනෙයි. 

"මම කොහොමද එහෙම කියන්නේ. මගේ දැනුම් සම්භාරයට අනුව මට මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳව ප්‍රත්‍යක්‍ෂ වන්නේ නැහැ. මා දන්නේ ඒ ගැන මා නොදන්නා බව පමණයි. නොදන්නා දේ ඇදහීම හෝ ප්‍රතික්ෂේප කිරීම මගේ පිළිවෙත නොවෙයි" මම පැවසුවෙමි. 

"මැවුම්කරුවෙක් සිටිනවා නම් එතුමාට ස්තුතිවන්ත වීමත් ඔහුට යාඥා කිරීමත් අනිවාර්ය බව ඔබ පිළිගන්නවාද?" ශේෂාඩ් අසයි.

"කිසිසේත්ම නැහැ. මා මෙලොවට බිහි වුයේ මට අවශ්‍ය නිසා නොවෙයි. එයට වගකිව යුත්තේ දෙවියන්වහන්සේ නම් මගේ බිහිවීම ඔහුගේ අවශ්‍යතාවයයි. ඒ වෙනුවෙන් ඔහු මට ස්තුතිවන්ත විය යුතු මිසක් එහි විලෝමය සිදුවිය යුතු නැත". මේ පිළිතුර ශේෂාඩ් අතරමං කරවිය. මෙබඳු පිළිතුරුවලට ප්‍රති පිළිතුරු දීමට ඔහු පුහුණුවී සිටින්නට නැත. 

සංවාදය බලෙන්ම ඇරඹුවේ ශේෂාඩ් විසිනි. මේ නිසා එය අවසන් කල යුත්තේ මා විසින් යයි මට සිතුණි. එබැවින් මම පහත දැක්වෙන කථාව පවසා ඔවුන්ව රාත්‍රී භෝජනයට කැඳවූයෙමි. 


අත්ලාන්තික් සාගරය හරහා වහළුන් ආනයනය කිරීම තහනම් වීමත් සමගම ඇමරිකාවේ වහල් හිමියන් අතර වහල් අභිජනනය බොහෝ සෙයින් ප්‍රචලිත විය. වහල් දරුවන් ලබා ගැනීම සඳහා තමාගේ අභිමතය පරිදි තෝරාගත් වහලෙක් සහ වහලියකට ලිංගිකව එකතුවීම සඳහා වහල් හිමියා අණ කරයි. 

තමාට අවශ්‍ය වන ගති ලක්‍ෂණ සහිත වහල් දරුවකු බිහිකිරීම සඳහා ලිංගිකව එක් කල යුතු වහලාගේ සහ වහලියගේ ගෝත්‍ර පිළිබඳවද වහල් හිමියාට හොඳ අවබෝධයක් තිබුණි. මේ අනුව අවශ්‍යතාවය බර වැඩ කරන්නෙකුද, වතු වැඩ කරන්නෙකුද, ගෘහ සේවකයෙකුද ආදී කරුණු අනුව වහලාගේ ගෝත්‍රය සහ වහලියගේ ගෝත්‍රය තීරණය කරනු ලබයි. සමහර විට ඥාණයෙන් ඉහල වහලෙකු අවශ්‍ය වූ විට තමාම වහලියක හා එක්වීමද වහල් හිමියා විසින් කරනු ලැබීය. ඒ තමන් ඥාණයෙන් පිරිපුන් යයි වහල් හිමියා සිතා සිටි බැවින් විය හැක. 

මෙසේ ඉපදෙන දරුවා කුඩා කල සිටම වහල් හිමියාට ස්තුතිවන්ත විය. එය ඔවුනට තම දෙමව්පියන්ගෙන් ලැබුණු හුරුවක් වන්නට ඇත. තමා මෙලොවට බිහි වුයේ වහල් හිමියාගේ කරුණාව මත යැයිද ඔහුට හෝ ඇයට ආහාර, ඇඳුම් පැළඳුම් සහ හිසට සෙවන ලැබෙන්නේ වහල් හිමියාගේ අනන්ත වූ පරිත්‍යාගශීලී බව නිසා යැයිද ඔවුහු තරයේ විශ්වාස කළහ. එබැවින් ඔවුන් දිවා රාත්‍රී වහල් හිමියාගේ සේවයට කැපවූ අතර නිරන්තරයෙන් ඔහුට ප්‍රශංසා කළහ. 


මට හැඟෙන ආකාරයට, අපට ප්‍රත්‍යක්‍ෂ වන්නේද ප්‍රඥා ගෝචර වන්නේද මේ ජීවිතය පමණක් බවයි. "මම" යන අතිශයින් සංකීර්ණ වූ භූතාර්තයේ මේ ජීවිතයෙන් එපිට පැවැත්ම අප සියළු දෙනාටම පරිකල්පනයක් පමණකි. එසේ පැවැත්මක් ඇත මෙන්ම පැවැත්මක් නැත යන්නද පරිකල්පනයන්ය. 

එසේ පැවැත්මක් ඇත යැයි පරිකල්පනය කරන අය එම පැවැත්ම තීරණය කිරීමේ සාධකය පිළිබඳව ඉන්පසු පරිකල්පනය කරයි. එබ්‍රහ්මික ආගම් අදහන සියලු දෙනා එය දෙවියන්වහන්සේ ලෙසද, බෞද්ධයන් එය කර්මය ලෙසද, හින්දු බැතිමතුන් එය ඉහත සාධක දෙකේ සම්මිශ්‍රණයක් ලෙසද, බොහෝ නිදහස් චින්තකයන් එය සම්භාවිතාව ලෙසද පරිකල්පනය කරයි. 

මා දකින ආකාරයට මේ කිසිඳු පරිකල්පනයක වරදක් නැත. යමෙකුගේ පරිකල්පනයේ හරි වැරදි බව ප්‍රශ්න කිරීමට අනෙකෙකුට අයිතියක් හෝ හැකියාවක් ඇත්තේද නැත. එසේ කිරීමට උත්සහ ගැනීම තුලද ඇත්තේ හාස්‍යයකි. එය හොඳම සිහිනය තෝරනවා වැනි නිෂ්ඵල ක්‍රියාවකි.

සියළු ගැටළු ආරම්භ වන්නේ මෙම පරිකල්පන තුලින් මෙලොව දී ප්‍රායෝගික වන කටයුතු ක්‍රියාවට නංවන්න යාමේදීය. විශේෂයෙන්ම තමන්ට දෙවියන් විසින් පවරන ලද අරමුණක් (God-given purpose) ඇතැයි පරිකල්පනය කරන්නෝ මිහිපිට අපායක් කරන අවස්ථා නිමක් නොමැතිව අපට අසන්න දකින්න ලැබේ. 

තමාගේ ඇදහීම හෝ දර්ශණය කුමක් වුවත් එය පරිකල්පනයෙන් ඔබ්බට ගෙන ඒමේදී අනෙකා මත තම පරිකල්පනය පැටවීමට කිසිවෙක් උත්සහ නොගන්නේ නම් එලොව කෙසේ වෙතත් මෙලොව සුරපුරක් වනු ඇත. 








Sunday, 11 February 2018

මහ පොළවේ යථාර්තය


මීට වසර දෙකකට පෙර මා මැලේසියාවේ ජොහොර් බාරු නගරයේ සංචාරයක නිරත වන අතර සිංගප්පුරු ජාතික ලී චෙන් මහතා අහම්බෙන් හමු විය. ගොඩනැගිළි ඉංජිනේරුවකු වූ ලී වයස අවුරුදු 70 පමණ වන වයෝවෘධ වෘත්තිකයෙකි. මා අකුණු ආරක්ෂණ තාක්ෂණයෙහි යෙදී සිටින්නකු බැවින් අප අතර ව්‍යාපාරික හවුල්කාරිත්වයක් ගොඩ නගා ගත හැකි බව හැඟී ගියෙන්, අපි හරිත තේ ජෝග්ගුවක් සමග පිළිසඳරට වන්නෙමු. බොහෝ මාතෘකා පසුකොට අපි දෙරටේ සාමාජීය කරුණු පිළිබඳව සාකච්චාවකට අවතීර්ණ වූයෙමු.

"ඔබට බිය නැද්ද මැලේසියාව කවර අවස්ථාවක හෝ සිංගප්පුරුව ගිල ගනී කියා" මම සිනා මුසු ස්වරයෙන් ඔහුගෙන් ඇසුවෙමි.

"අපි හැමෝම අතරේ එහෙම බරපතල බියක් තිබුණා මීට අවුරුදු 40ට විතර කලින්" ලී පැවසුවේ තරමක බැරෑරුම් ස්වරයකිනි.

"දැන් නම් මැලේසියාව බය ඇති අපි ඒගොල්ලන්ව ගිල ගනී කියලා" ලී එක වරම මහා හඬින් සිනාසෙමින් පැවසුවේ අසළ සිටි කිහිප දෙනෙකුගේද අවධානය අත් කරගනිමිනි.

එතනින් නිමවූ අපේ කතාව නැවතත් මගේ මතකයට නැගෙන්නේ අද පිටවන පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමගමය.


භූමියෙහි ජිවත්වන බොහෝ සත්වයන්ට පොදු වූ එක් ධර්මතාවයකි. එනම් තමා ජිවත්වන බිම් කඩෙහි අයිතිය පිළිබඳව ඇති විමසිලිමත් භාවයයි. සත්වයෝ තම බිමෙහි සිමා නිර්ණය සඳහා නොයෙකුත් ක්‍රම භාවිතා කරති. මුත්‍රා කිරීම, වසුරු සහ ඛේටය දැමීම, ගස් වැල් වල අං ඇතිල්ලීම හෝ උලා කෑම මගින් සලකුණු යෙදීම මේ මායිම් සනිටුහන් කිරීමේ ක්‍රමවේද කිහිපයකි. පක්ෂීන් සහ මත්ස්‍යයන් පවා තම සිමා මායිම් කියා පෑමට නොයෙකුත් ක්‍රම භාවිතා කරන බව සොයාගෙන ඇත. 

මෙසේ තමාගේ භූමි අයිතිය, තමා අයත්වන සත්ව කොට්ඨාශයේ අන් සතුනට පෙන්වීම සහ ඒ අයිතිය වෙනුවෙන් සටන් කිරීම බොහෝ සතුන් විසින් මූලික කාරණාවක් මත සිදුකරයි. එනම් තම ආහාර සහ ලිංගික අවශ්‍යතා සඳහා ඇතිවන තරඟය අවම කරගැනීමයි.  

තවත් එක් සත්ව විශේෂයක් වන මිනිසාටද මෙය පොදු වූ කරුණකි. එහෙත් මිනිසාගේ අවශ්‍යතා ආහාර සහ ලිංගික ඕනෑකම් වලින් බොහෝ ඔබ්බට දිවෙයි. භෞතික අවශ්‍යතාවලට අමතරව ඔවුන් නාමිකව අර්ථ දක්වා ගත් ජාතිය, ආගම, කුලය, සමාජ තලය වැනි වෙනත් භූතාර්ථ රැකගැනීම වෙනුවෙන්ද භූමියෙහි අයිතිය පවත්වා ගැනීමට යත්ත දරයි. 

මා දකින ආකාරයට අනෙක් සත්වයාට අදාළ නොවූ මේ භෞතික නොවන භූතාර්ථ, භූමියෙහි අයිතිය සමග අනුයුක්ත කරන්න ඇත්තේ නායකත්වයේ පැවැත්ම උදෙසාය. මේ මගින් නායකයා වෙනුවෙන් සටන් කිරීමට පොදු මිනිසාව පොළඹවා ගැනීම පහසු වන්න ඇත.


ලෝකයේ රටවල් රාශියක ජනතාවගේ මෙම භූමියෙහි අයිතිය පිළිබඳව ඇති ආකල්ප විශ්ලේෂණය කරන අයෙකුට විශේෂ කාරණාවක් නිරීක්ෂණය කල හැක. එනම් භූමිය අහිමි වෙතැයි ජනතාව අතර ඇති බිය දරිද්‍රතාවයට අනුලෝමව සමානුපාත වන බවයි. ඇමරිකාවේ සහ දකුණුදිග යුරෝපයේ සමහර රටවල පසුගිය වසර කිහිපය තුල වැඩි දියුණු වෙමින් පවතින විරැකියාව සහ දුප්පත්කම (සංවර්ධිත රාජ්‍යයක අංකනයන්ට සාපේක්ෂව) එම ප්‍රදේශවල ජනතාවගේ භූමි අයිතිය පිළිබඳව ඇති බිය තීව්‍ර කර ඇති බව පෙනේ. 

සිංගප්පුරුව පිළිබඳව ලී මහතාගේ විවරණය ඉහත නිගමනය සනාථ කරයි. සිංගප්පුරු ජාතිකයා දරිද්‍රතාවයෙන් මිදෙන විට තමා කෙතරම් කුඩා වුවද අසල්වැසි මැලේසියානු යෝධයාගෙන් ඇතිවිය හැකියැයි සිතෙන නොයෙකුත් ආකාරයේ ආක්‍රමණිකත්වයකට ඇති බිය පහව ගොස් ඇත. ලී කිවා සේම අද මැලේසියාව බියවී ඇත. සිංගප්පුරු ජාතිකයන්ට මැලේසියාවේ ඉඩම් මිළදී ගැනීම අපහසු කරවනු වස් (විශේෂයෙන්ම සිංගප්පුරුවට යාබද වූ ජෝහොර් ප්‍රාන්තයෙහි), ඔවුන් නොයෙකුත් අණ පනත් පනවයි. 

දුපත්වල හෝ කුඩා රාජ්‍යයන්හි සිටින මිනිසුන් තුල භූමියෙහි අයිතියට ඇති බිය "කොදෙව් මානසිකත්වය" නමින් හැඳින්වෙයි. මම මේ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරමු. ඉතා ඉහළ ජාතික ඒක පුද්ගල අදායමක් ඇති සිංගප්පුරුව, බෘනෙයි, තායිවාන් වැනි කුඩා රාජ්‍යවල වැසියන් සමග ඔබ අදහස් හුවමාරු කරගෙන ඇත්නම් ඔබ මගේ මතය පිළිගනු ඇත. හයිටි වැනි කුඩා දුපතක් වුවද ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක් වුවද රටේ දරිද්‍රතාවය ඉහල නම් ජනතාව තුල භූමිය නැතිවේ යැයි පවතින බිය ඉහල තලයක පවතී. 

"භූමියේ අයිතිය නැතිවේ යැයි ඇති බිය (land insecurity)" සහ "දේශප්‍රේමය (patriotism)" යනු ඉතා දුරස්වූ කරුණු දෙකකි. ජපානයේ, දකුණු කොරියාවේ මෙන්ම යුරෝපයේ බොහෝ රටවල වැසියන්ද ඉහළ දේශප්‍රේමයක් ඇති පුද්ගලයන් බව මම අත්දැකීමෙන් දන්නෙමි. එහෙත් ඔවුන් තුල භූමියේ අයිතිය නැතිවේ යැයි බියක් නොපවතී.  

සැබෑ දේශප්‍රේමය ඇති ජනතාවගේ පොදු ලක්ෂණ මෙසේය. ඔවුන් තම රට වෙනුවෙන් කාර්යක්ෂමව සහ යුහුසුළුව වැඩ කරයි. අන්‍යයන් කෙරේ ගෞරවාන්විත වෙයි. පුද්ගල මෙන්ම සාමුහික මට්ටම් වලදීද දුෂණය සහ වංචාව අවම මට්ටමක පවත්වා ගනියි. මේ සියල්ල සාරාංශ කල විට කිව හැක්කේ දේශප්‍රේමය යනු රටක ජනතාව එම රටෙහි උන්නතිය වෙනුවෙන් පුද්ගල මට්ටමේ සිටම උපරිමයෙන් දායක වීමයි. 


භූමියේ අයිතිය නැතිවේ යැයි බිය ඇති සමාජයක හැසිරීම මීට වඩා වෙනස්ය. ඔවුන් ජාති, ආගම්, සමාජ පංති ලෙසින් බෙදී නිතර එකිනෙකාට චෝදනා කරගනියි. මීට හේතුව තමාගේ අසල්වාසියා ද්‍රෝහී වනු ඇතැයි පවතින සැකයයි. තමාගේ පන්තියේ සිටි අයෙක් ඉන් මිදී ඉහල පන්තියකට යාම බොහෝ විට ජාති ද්‍රෝහිබව ලෙස අර්ථ දැක්වෙයි. ඔවුන් අතර අසමගිකම් බේද බින්න ඇති කිරීම පහසුය. නිතරම සටනට හිත යොමු කෙරෙනවා මිස මෙබඳු සමාජයක ඵලදායි කර්තව්‍යයක් කෙරෙන්නේ නැත. අවස්ථාවාදීන්ට මෙබඳු සමාජයක් පහසුවෙන් තම ග්‍රහණයට ගත හැක. 

දරිද්‍රතාවයෙන් පෙලෙන රටක ජනතාව භූමිය නැතිවේ යැයි ඇතිකරගන්නා බිය මුසු හැඟීම එම ජනතාවගේ වරදක් නොවේ. එය සියලු සත්වයාගේ ස්වභාවයයි. නැණවත් දේශපාලකයා මෙන්ම කපටි දේශපාලකයාද මේ බව මැනවින් වටහා ගැනීමෙන් එම සමාජයේ පාලන බලය අත්පත් කරගනියි. 

නැණවත් දැහැමි පාලකයා මෙසේ උපක්‍රමිකව ලබාගත් බලය යොදවන්නේ රටේ දරිද්‍රතාවය සිඳුවා, භූමිය නැතිවේ යැයි බියෙන් වෙසෙන ජනතාව සදාකාලික දේශප්‍රේමින් කිරීමටය. එසේ පාලන බලය ලබා ගන්නා කපටි කෛරාටිකයා තමා දේශප්‍රේමියෙකු යයි හඳුන්වා ගනිමින් ජනතාව තුල ඇති භූමිය අහිමිවීමේ බිය තව තවත් වර්ධනය කරයි. එමගින් ඔහු තමන්ගේ සහ සහචරයන්ගේ මඩිය තර කරගනී.

ලංකාවේ මට මතක ඇති කාලයක වැඩිම FB පෝස්ට් සහ කොමෙන්ට් ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල පළවුයේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ අභිනය පිළිබඳවයි. මිතොටමුල්ල කුණු කන්ද නාය ගිය විට හෝ මහා බැංකු වංචාව සම්බන්ධයෙන්වත් එතරම් තීව්‍ර උද්‍යෝගයක් ජනතාව තුල තිබුණේ නැත. ලාංකික සමාජයේ ඇති භූමිය අහිමිවෙතැයි තිබෙන බිය පිළිබඳව මෙය පැහැදිලි උදාහරණයකි. 

ලංකාවේ පාලන බලය ලබාගැනීම හෝ පවත්වා ගැනීම පිළිබඳව බලාපොරොත්තු ඇති ඕනෑම දේශපාලන පක්ෂයක් මෙම මහපොළවේ යතාර්ථය තේරුම් ගත යුතුය. මෙය තේරුම් ගත නොහැකි පක්ෂය හෝ පුද්ගලයා අන්ත මෝඩයෙකි. ඔහුට ලංකාව වැනි රටක දේශපාලන පැවැත්මක් නැත. 

මුලින්ම කල යුත්තේ ජනතාවගේ ඇති බිය යටපත් කර ඔවුන්ගේ චිත්ත ධෛර්යට ප්‍රාණ වායුව ලබා දීමයි. මේ සඳහා දේශපාලකයා බොහෝ සෙයින් උපායශීලි සහ උපක්‍රමශීලි විය යුතුය.

උදාහරණයක් ලෙස බ්‍රිගේඩියර්වරයාගේ අභිනය සලකමු. එය නොවිය යුත්තකි. මන්ද එයින් ජාත්‍යන්තරව ලංකාව අපහසුතාවයට පත් කිරීම සඳහා සතුරාට ආයුධයක් ලැබීමයි. එහෙත් මෙහිදී ලාංකාවේ පාලකයා උපක්‍රමශිලී වුවා නම් ජාත්‍යන්තරය තුල රටේ ජාමද බේරාගෙන, බ්‍රිගේඩියර්වද ගලවාගෙන, ලාංකික ජනතාවගේ සිත්සතන් තුල අභිමානයද වඩවා, තමන්ගේ දේශපාලන ප්‍රතිරුපයද ගොඩනගා ගත හැකිව තිබුණි.  



මේ සඳහා දියත් කළ යුතුව තිබුනේ සරල උපක්‍රමයකි. "රජයක් ලෙස අප මෙම අභිනය කිසිසේත් අනුමත නොකරන නමුත් තම රට ජාතියට නින්දිත ලෙස අපහාස කරන පිරිසක් හමුවේ මෙබඳු පියවරක් ගැනීමට අපගේ නියෝජිතයාට අකමැත්තෙන් වුවත් සිදුවූ බව කාරුණිකව තේරුම් ගන්නා ලෙස ජාත්‍යන්තරයට ඉල්ලීමක් කරන බව" නිවේදනය කළා නම් තත්වය බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි. 

මෙහිදී බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාව හෙලා නොදකින අතරම එය උත්කර්ෂයට නංවන්නේද නොමැතිව වචන හැසිරවීමට පාලකයා දක්ෂ විය යුතුය.  

ලෝකයේ පිළිගත් රාජ්‍යයක තම රටේ ඇති තානාපති කාර්යාලය ඉදිරියේ, තම රට තුල තහනම් කල සංවිධානයක පිරිසක් ඉතා අශ්ශීල ලෙස හැසිරීම නොදුටුවාසේ සිටි බ්‍රිතාන්‍ය රජයටද මෙහිදී නිහඬ වීමට සිදුවනු ඇත. අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රකශය මීට දිනකට පසු රටේ ජනතාව ඉදිරියේ කල යුතුව තිබුණි. එසේ නම් එය ජනතාවගේ ධෛර්ය වර්ධනයට හේතුවන්නට තිබුණි. ජාත්‍යන්තර අර්බුද කළමනාකරණය (international crisis management) යනු මෙයයි. මේ සඳහා අප ඇමරිකාවෙන් උගත යුතු පාඩම් බොහෝය. 

එහෙත් ශ්‍රී ලංකා රජය මෙම සිද්ධිය එහෙම පිටින්ම අනාගත්තේය. සිදු වූ දෙය මා ලිවිය යුතු නැත. ඔවුන් ජාත්‍යන්තරයේ මෙන්ම රට තුලද පිළිකුලටත්, හාස්‍යටත්, ව්‍යසනයකටත් ලක්විය. 

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ මහපොළවේ සත්‍ය කවදාවත් තේරුම් ගැනීමට හැකිවේ යැයි මම නොසිතමි. මන්ද ඔවුන්ට ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා ලැබුන බැවිනි.  
.
.
.
.
.

සත්‍ය තේරුම් ගත්තෝ දැහැමි වේවායි පතමි.