ලොව පුරා අකුණු ආරක්ෂණ පද්ධති පිළිබඳව උපදේශන සේවා සපයන, දේශන පවත්වන මා ඒ ගැන ලාංකික ජනතාව දැනුවත් කරනවා වෙනුවට නොදන්නා විකාර ලියනවා යයි චෝදනා කරමින් ලැබෙන පණිවිඩ ගණන වැඩි වෙමින් පවතී. ඒ නිසා වසර ගණනාවකට පසු මේ පිළිබඳව කෙටි ලිපියක් සිංහලෙන් ලිවීමට සිතුවෙමු.
-----------------------------------------
මීට වසර 20ට පමණ පෙර මා ලංකාවේ අකුණු ආරක්ෂණ උපදේශකයෙකු ලෙස සේවා සපයන කාලයේ බැංකු කිහිපයක සහ රක්ෂණ සමාගමක අකුණු අනතුරු වාර්තා ආශ්‍රයෙන් සකස් කල ලංකාවේ අකුණු අනතුරු ගහණත්වය දැක්වෙන සිතියමක් රූපයේ දැක්වෙයි. මෙහිදී අප සැලකිය යුතු විශේෂ කරුණක් නම් අකුණු ඝනත්වය සහ අකුණු අනතුරු ගහණත්වය අතර වෙනසක් තිබීමට හැකි බවයි. මා සේවා සපයන කාලයේ වැඩිම අකුණු අනතුරු වාර්තා වුයේ හොරණ, පිළියන්දල, මාලබේ-අතුරුගිරිය, වැලිවේරිය, කටුනායක, ගම්පහ, රත්මලාන, සහ කොළඹ-කොටහේන ආදී ප්‍රදේශවලිනි. මේ ප්‍රදේශ ආශ්‍රිතව ඇති විශාල ආර්ථික මධ්‍යස්ථාන නිසා අනතුරු සිද්ධීන් අධික වීමට ඇති ඉඩකඩ වැඩි බව මගේ හැඟීමයි.
අකුණක් යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ වලාකුලක සිට පොළොවට ඉතා කෙටි කාලයකදී ගලන විශාල විද්‍යුත් ධාරාවකි. එය සාමාන්‍යයෙන් ඇම්පියර් 30,000 පමණ වේ. මෙහිදී බොහෝ විට පොලව කරා ඇදී එන්නේ ඍණ ධාරාවකි. කලාතුරකින් ධන ධාරාවක් ඇදී එන අතර එහි විශාලත්වය ඍණ ධාරාවකට වඩා දස ගුණයක් පමණ විශාල විය හැක. එසේම ධාරාව ගලන කාලයද අධිකය. මේ නිසා ධන අකුණු ධාරාවකින් සිදුවිය හැකි හානිය අති විශාලය. සාමාන්‍යයෙන් වර්ෂාව පැමිණීමට පෙර හෝ වර්ෂාවෙන් පසුව පතිත වන අකුණු, ධන අකුණු වීමට ඇති ඉඩකඩ අධිකය. අපේ පැරැණ්නන් කෝප වූ විට "තොපට වැහි නැති හෙණ වදීවා" යැයි පැවසුවේ මේ පිළිබඳව යම් දැනුමක් තිබූ නිසා යයි සිතිය හැක.
අකුණක් යම් වස්තුවකට වැදීමේ වැඩි ඉඩකඩ කරුණු පහක් මත රඳා පවතී. එනම් වස්තුවේ; උස වැඩිවීම, ඉහල ප්‍රදේශයේ තියුණු තුඩු සහ දාර තිබීම, ඉහල සන්නායක අගයක් තිබීම (ලෝහ වැනි), භූගතව ඇති පෘෂ්ඨය පොළොව හා හොඳින් ස්පර්ශව තිබීම (low contact resistance); සහ අවට පසෙහි සන්නායකතාවය ඉහල අගයක තිබීම වේ.
පුද්ගලයෙකුට අකුණකින් ආරක්ෂාවීම සඳහා කල හැක්කේ අකුණු සහිත කාලගුණයකදී හැකිතාක්, ශක්තිමත් ආවරණ සහිත ගොඩනැගිල්ලක් හෝ අකුණු ආරක්‍ෂිත සැකිල්ලක් (lightning safety shelter) තුලට වී සිටීමයි. අවාසනාවකට එවන් ආවරණයක් නැති ස්ථානයක අකුණු කුණාටුවකට කොටු වුව හොත් දෙපතුල් හැකිතාක් කිට්ටුවෙන් තබාගෙන බිමට පහත්වීම (ඇන තියාගෙන ඉඳගැනීම) සම්මත ක්‍රමවේදයයි. උස ගස් යට හෝ උස් බිමක සිටීම කිසිසේත් නොකළ යුතුය.
ගොඩනැගිල්ලකට අකුණු අනතුරු සිදුවන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න අකුණු ධාරාව කෙලින්ම ගොඩනැගිල්ල හා සම්බන්ධ වීමයි (through a direct strike or side flash). දෙවැන්න ගොඩනැගිල්ලට සම්බන්ධ වන සේවා රැහැන් පද්ධතියකට (විදුලි, දුරකථන, CCTV කේබල් වැනි) වදින හෝ ඒ අවට වදින අකුණු පහරක් මගින් ඇතිවන අධි වෝල්ටීයතා ස්පන්දයක් ගොඩනැගිල්ලට ඇතුළු වීමයි. මේ අවස්ථා දෙක සඳහා අප වෙන වෙනම ආරක්ෂණ ක්‍රමවේද යොදාගත යුතුය. පළමු ආකාරයේ අකුණු අනතුරු වලක්වා ගැනීමට අප බාහිර අකුණු ආරක්ෂණ පද්ධතියක් සවි කරගත යුතුය. මෙහිදී සිදුකෙරෙන්නේ අකුණක් ගොඩනැගිල්ල දෙසට ඇදී ආවොත් එම අකුණු ධාරාව නිරුපද්‍රිතව භූගත කිරීම සඳහා ලෝහමය පද්ධතියක් ගොඩනැගිල්ලට බාහිරින් සවි කිරීමයි.
මෙම පද්ධතිය මූලික වශයෙන් air terminal, down conductor, earthing system යන කොටස් තුනකින් සමන්විත වේ. මෙහිදී යොදාගන්නා උපාංග වල මාන (dimensions), යොදාගන්නා ද්‍රව්‍ය, සවිකළ යුතු ස්ථාන සහ ආකාර, ස්ථාපනය කිරීමේ මූලික අවශ්‍යතා, කල යුතු මිනුම් ආදිය ජාත්‍යන්තර හෝ ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුව සිදුකල යුතුය. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය IEC 62305: 1-3 (2010) වේ. මෙම කරුණු පිළිබඳව බොහෝ විට සාමාන්‍ය ඉංජිනේරුවන්ට ඇති දැනුම මදය. එබැවින් අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමේදී සහ ස්ථාපනය කිරීමේදී ඒ පිළිබඳව හසල දැනුමක් ඇති විශේෂඥකුගෙන් (හෝ ආයතනයකින්) සේවය ලබා ගැනීම වැදගත්ය.
සේවා රැහැන් හරහා ඇදී එන අකුණු ධාරාව ගොඩනැගිල්ල තුල ඇති උපකරණ වලට හානි පැමිණීම වැලැක්වීම සඳහා surge protection device (SPD) පද්ධතියක් සේවා රැහැන් පද්ධතියේ නොයෙකුත් ස්ථානවල සවිකළ යුතුය. මෙය විදුලි රැහැන් පද්ධතියට සහ අනෙකුත් සේවා රැහැන් පද්ධති වලට වෙන වෙනම සවි කල යුතුය. මෙහිදී සැලකිය යුතු කරුණු රාශියක් ඇති බැවින් ඒ පිළිබඳව ඉතා විස්තරාත්මක කරුණු අඩංගු IEC 62305:4 (2010) ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති ඉංජිනේරුවෙක් හෝ ආයතනයක් උපදේශනය සඳහා තෝරා ගැනීම වැදගත්ය.
අධිබලැති විදුලි රැහැන් පද්ධති (HV/MV systems), සූර්ය කෝෂ පද්ධති, සුළං බලශක්ති පද්ධති, ඉතා උස් ගොඩනැගිලි, යුද ආරක්ෂක පද්ධති (defence systems), විදුලි දුම්රිය පද්ධති සහ අධි අවදානම් ස්ථාපනයන් (ඉන්ධන සහ ගෑස්, රසායනික ගබඩා, පරමාණුක බලාගාර, පුපුරණ ද්‍රව්‍ය සැකසුම් ආයතන ආදිය) අකුණු ආරක්ෂණය කිරීම සඳහා වෙන වෙනම ජාත්‍යන්තර ප්‍රමිතීන් පවතී.
මේ විෂය සාමාන්‍යයෙන් මම උගන්වන්නේ දින තුනක හෝ පහක වැඩමුළුවක් ලෙසයි. ඒ නිසා කෙටි ලිපියකින් සියලු කරුණු සම්පීඩනය කිරීම උගහටය. ඔබට ගැටළු ඇත්නම් මම කාල වේලා ලැබෙන විදියට ඒවාට පිළිතුරු සපයන්නම්.