මට තේරෙන අද්වෛත මොඩලය වචන දෙකක වැකියකින් විස්තර කල හැක. එනම් "මමද ඔබමය" යන්නයි.
සරල උදාහරණයක් ගමු. විශාල රත්තරන් ගොඩක් සලකන්න. එය අර්ථ දැක්විය හැක්කේ රත්තරන් ලෙස පමණි. දැන් මේ රත්තරන් ගොඩෙන් ස්වල්පයක් ගෙන ඉන් මාලයක්, කරාඹුවක් සහ වළල්ලක් සාදමු. දැන් අර රත්තරන් ස්වල්පයට මාලයක්, කරාඹුවක් ආදී වූ හැඳින්වීම් ඇත. ඊට විශේෂණ පදද එකතු කල හැක. දැන් මාලය උණු කර සළඹක් සාදමු. එයට දැන් මාලය යයි නොකියමු. එය සළඹකි. සළඹ උණු කර මුද්දක් සෑදුවොත් එය මුද්ද ලෙස හැඳින්වේ. තරමක් ගැඹුරින් සිතුවොත් මේ සියල්ලටම ඇති එකම සත්‍ය රත්තරන් යන්නයි. මාල, වළලු, මුදු, කරාඹු අවස්ථාව අනුව පෙනෙන මායාවන් පමණි.
ලොව පවතින්නේ එකම සත්‍යයයි. ඒ බ්‍රහ්මන්. අප දකින අනෙක් මුළු විශ්වයම මායාවක් (බ්‍රහ්ම සත්‍යා ජගත් මිත්‍යා). බ්‍රහ්මන් සහ මහා බ්‍රහ්මයා පටලවා ගන්න එපා (මහා බ්‍රහ්මයා ද්වෛත වේදාන්ත සංකල්පයක්). බ්‍රහ්මන් යනු නිර්ගුණ (property-less), නිර්-අර්ථ (undefinable), නිර්මාන (dimensionless), නිර්ලිංග (non-gender) භූතාර්ථයක් (Dr Nalin ගෙන් සොරාගත් මේ වචනය මම යොදන්නේ තේරුම් ගත නොහැකි යමක් කීමටයි). මුළු විශ්වයම බ්‍රහ්මන් පමණයි. සමහර විද්වතුන් බ්‍රහ්මන් dark matter/dark energy ලෙස හඳුනාගන්න උත්සහ දරනවා.
ඔබද මාද පීටර්ද මොහමඩ්ද කියා ඇති වෙනස මාල, වළලු, මුදු, කරාඹු වැනිය. මේ සියල්ලේම ඇත්තේ බ්‍රහ්මන්ය. ආත්මය නම් මේ බ්‍රහ්මන්ය. මම යනු බ්‍රහ්මන් වන අතර ඔබද, පීටර්ද මොහොමඩ්ද බ්‍රහ්මන් වේ. මෙය සමස්ථ බ්‍රහ්මන් ගෙන් වෙනස් නොවේ. අද්වෛත සහ ද්වෛත වේදාන්ත වෙනස්වන්නේ මෙතනදීය. අද්වෛත වේදාන්තය අනුව මාද, ඔබද දෙවියන්ද එකමය. ආත්මය හෙවත් බ්‍රහ්මන් නිර්ගුණ, නිර්-අර්ථ, නිර්මාන, නිර්ලිංග භූතාර්ථයක් බව නැවත මතක් කරගන්න.
ඊළඟ විස්තරයට පෙර තවත් උපමාවකින් මම මෙය වඩාත් තහවුරු කරන්නම්. බ්‍රහ්මන් මුහුදේ ජලය සේය. මම, ඔබ, පීටර් සහ මොහොමඩ් මුහුදේ නැගෙන රැලි සේය. එක් ක්‍ෂණයකට අපි අර රැල්ල, මේ රැල්ල ලෙස හැඳින් වුවත් එහි ඇත්තේ ජලයමය.
උත්පත්තියක් යනු ආත්මය පංච කෝෂයක් තුලට ඇතුළු වීමයි. මෙය ජලය බඳුනකට පුරවනවා වැනිය. පංච කෝෂ යනු; අන්නමය කෝෂ (ආහාර මගින් ඇතිවන සිරුර), ප්‍රාණමය කෝෂ (ජීව ශක්තිය), මනෝමය කෝෂ (මනස), විඥානමය කෝෂ (ඉංග්‍රීසි බසින් conscouseness ලෙස හැඳින්වෙන මේ අද්වෛත වෙදාන්තයේ එන විඥාණය සිංහලෙන් තර්ක ඥානය ලෙස හඳුන්වා දිය හැක), ආනන්දමය කෝෂ (ඉංග්‍රීසි බසින් blissfullness ලෙස හැඳින්වෙන මේ සංකල්පය සිංහලෙන් දිව්‍යමය සතුට හෝ ආනන්දජනක බව ලෙස හැඳින්විය හැක).
ජීවීන් ලෙස අප හඳුන්වන භූතාර්ථයන්ට බොහෝ විට පංච කෝෂ ඇත. සමහර භූත, ප්‍රේත, පහල තලයේ දේව කොටස්වලට අන්නමය කෝෂය හෝ අන්නමය සහ ප්‍රාණමය කෝෂ නැත. සමහර ඉහල දේව ගණයන්ට ඇත්තේ විඥානමය සහ ආනන්දමය කෝෂ පමණි, ඉහලම බඹ තලවල ඇත්තේ ආනන්දමය කෝෂය පමණි. ආත්මයක් කෝෂ තැනීම අත්හල විට එය සමස්ථ බ්‍රහ්මන් හා බද්ධ වේ. ඉන්පසු එයට අර්ථ දැක්වීමක් නැත. එය බ්‍රහ්මන්මය. මෙය මෝක්‍ෂය නම් වේ.
අද්වෛත වේදාන්තයට අනුව අපට පංචෙන්ද්‍රියයන්ට නතුවන හෝ නොවන ජීවින්, භූත, ප්‍රේත, දෙව් බඹුන් ඇතුළු සියළුම දේ (බ්‍රහ්මන් හැර) යථාර්තයන් නොවේ. ඒවා මායවන්ය. මරණය හෝ චුතවීම නම් සංසිද්ධියේදී ආත්මය එක් කෝෂ පද්ධතියක් හලා තව එකක් අල්ලා ගනී. කර්මය නම් ස්වභාවික රීතිය බලපැවැත්වෙන්නේ පංච කෝෂ මත මිස ආත්මය මත නොවේ (නිර්ගුණ භූතාර්ථයක් මත කිසිවක් බලපැවැත්වෙන්නේ නැත). මරණයෙන් මතු ඊළඟ කෝෂ පද්ධතිය තීරණය වන්නේ කෙසේද යන ආකෘති හැසිරීම මම මේ වන විට හදාරමින් සිටිමි.
දෙවියන්, ප්‍රේතයන් ආදී භූතාර්ථයන්ද මායාවේම කොටස් බැවින් ගනුදෙනු ඇතිවන්නේ එම භූතාර්ථයන් සහ පංච කෝෂ අතර පමණි. ආත්මයට කිසිම බලපෑමක් කිරීමට මේ මායාවන්ට නොහැක.
දුකට හේතුව මනස විසින් පංච කෝෂ "මම" යයි වැරදියට වටහා ගැනීමයි. සියළු ගුණ බලපැවැත්වෙන්නේ පංච කෝෂ මතයි (සතුට, වේදනාව, දුක, භීතිය, ආදී). අප අවදියෙන් සිටින විටද, තද නින්දේ සිටින විටද, සිහින දකින විටද ආත්මය හෙවත් "මම", මම යයි මගේ මනස හඳුනා ගත් මම දෙස බලා සිටියි. මෙය අප චිත්‍රපටියක් බලනවා වැනිය. චිත්‍රපටයේ මිනිසුන්ට, සතුන්ට නොයෙකුත් දේ සිදුවේ. නමුත් භෞතිකව මට එය බලපාන්නේ නැත. අප චිත්‍රපට බලන්නේ මේ නිසාය. මේ ලෙසම "මම" හා පංච කෝෂ අතර පරතරය අවබෝධ කරගත හැකි නම් "දුක" එතකින්ම නිම වේ.