නැවතත් දෙසැම්බරය පැමිණ ඇත. පාර දෙපස හිම කඳු ගොඩ ගැසෙයි. ඝනකම හිම කබාය විනිවිද ඇඟට ඇතුළුවන සීතල සමට ඉඳිකටු අනින්නාක් මෙන් දැනේ.
මට ගිය දෙසැම්බරය මතක් වෙයි. ස්ටොක්හෝම් නුවර සිටින සිංහල පවුලක් අප කිහිප දෙනෙකුට රාත්‍රී භෝජනයට ආරාධනා කලේ නත්තල් සමයේ ඔවුන් ප්‍රංශයට යාමට සැලසුම් කර සිටි නිසාවෙනි. මට නුවන් හමුවුණේ එහිදීය. ඔහු කිලෝමීටර 150 ක් පමණ දුරක් තම මෝටර් රථය පදවාගෙන සාදයට පැමිණ තිබුණි.
ස්වීඩනයේ සාදයකට නැතිවම බැරි වොඩ්කා වලින් එම රාත්‍රියද පිරී ඉතිරී ගොස් තිබුණි. තමාට රිය පදවාගෙන යා යුතු බව කියා නුවන් මදු විතින් ඈත්වී සිටියේය. එහෙත් සාදය සංගීතයට පරිවර්තනය වෙත්දී නුවන්ගේ සිල් බිඳුණ බව පෙනුනි. ඔහු වීදුරුවකට පුරවාගත් මත්පැන් මිශ්‍රිත පානයක් තොලගාන්න විය.
රාත්‍රී 11 පමණ වන විට සාදය නිම වෙමින් පැවතී අතර එකා දෙන්නා පිටව යන්න විය. නුවන්ද තරමක් පමාවී අප සැමට සමු දුන්නේය. කලින් කතා කරගෙන සිටි පරිදි අප සාදය පැවත්වුවන්ගේ නිවසේ එදින රාත්‍රී නතර විය.
පසුදා උදෑසන අපි නිවැසියන්ට ස්තුති කර අපගේ නිවස කරා යාමට එළියට පිවිසියෙමු. එවිටම වාගේ එම නිවසේ ගේට්ටුව අද්දරම පාරේ නවතා තිබු රථයක පිටුපස අසුනෙන් එලියට බැස්සේ නුවන්ය. ඇස් දෙක පිසදමමින් අප දෙස බලා සිටින නුවන්ගෙන් මම මෙලෙස ඇසුවෙමි.
"ආ නුවන් ඔයා එලි වෙනකම් හිටියේ මෙතනද? ඊයේ රෑ ටෙම්ප මයිනස් 20 විතර නේද තිබුනේ", පෙරදින රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 20 පමණ බව ප්‍රවෘති වල වාර්තා විය.
"චන්දිම, ඊයේ මම පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තනේ. පොලිසියට අහුවුණොත් මාසේ පඩියෙන් භාගයක් ෆයින් එකට යනවා. ඒ මදිවට මාස හයක් ලයිෂන් කැන්සල්. මම කරන්නේ ටුවර් ගයිඩින්. ලයිෂන් කැන්සල් වුනොත් මම හම්ඹ කරලත් ඉවරයි. මෙතන රැයක් නිදියන එක ඊට වඩා දාහෙන් සම්පතයි".
මම කිසිවක් නොකිව්වෙමි.
***************************************
මොනැකෝ සහ මික්‍රොනිසියා යන ඉතා කුඩා රාජ්‍ය දෙක හැරුණු විට ලොව අඩුම මෝටර් රථ අනතුරු ප්‍රමාණයක් වාර්තා වන රට ස්වීඩනයයි. ඒ ඉතා කටුක දේශගුණයක්ද පරදවමිනි.