එඩ්වර්ඩ් ජෙනර්, ලුවී පාස්චර්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්, රොබට් කොක්, ජෝනාස් සොල්ක්, ජෝසෆ් ලිස්ටර්...... මේ ඔබ කුඩා කල අසා පුරුදු නම් වැලක කොටසකි.
මේ අය ජීවත් වුයේ 18-19 ශත වර්ෂ වලයි. කිහිප දෙනෙක් 20 වන ශත වර්ෂය දකින්නට වාසනා කර තිබුණි. ඔවුන් සියළු දෙනාම අප දන්නේ මිළියන ගණනක් රෝගීන් සුවපත් කිරීමට දායක වූ ජීවකයන් ලෙසයි. ඔවුන්ගේ සොයා ගැනීම්, ඔවුන් මිය ගොස් සියවස් ගණනාවක් යන තුරුම සතට සෙත සලසයි. ලෝකයේ මිනිසුන් වන්දනා මාන කරන ආගම් කර්තෘවරු කී දෙනෙකුගෙන් මේ සේවය සිදුවී ඇත්දැයි ඔබම කල්පනා කර බලන්න.
වසර 1940 වන විට ලෝකයේ එවකට පැවති සෑම රෝගයකටම පාහේ බෙහෙත් සොයාගෙන තිබුණි. වසුරිය, පෝලියෝ, කහ උණ, කළු උණ, මහාමාරිය, මැලේරියාව, ක්ෂය රෝගය ආදී නම් වැලක් ඒ අතර වෙයි. මෙයින් සමහර ලෙඩ රෝග මේ වන විට මුළු ලෝකයෙන්ම තුරන් වී ඇත.
ඉහත නම් සඳහන් විද්‍යාඥයින් පර්යේෂණ සිදු කලේ කුමන පහසුකම් සහිතවදැයි සොයා බැලීම වටීයි. ඔවුන්ගේ පර්යේෂණාගාර අද පවතින පහසුකම් සහ තාක්ෂණික උපාංග සමග සැසඳූ විට හාස්‍ය ජනකය. අද පාසල් විද්‍යාගාර පවා ඒවාට වඩා ඉදිරියෙන් ඇත. මේ අයගෙන් සමහරක් දෙනා මූලික පර්යේෂණ සිදු කලේ තම නිවසේ ඉහල මාලයේ වූ කුඩා කාමරයක, මුළුතැන් ගෙයි හෝ අශ්ව ඉස්තාලයේ බව ඔවුන්ගේ ජීවිත කථා වල සඳහන් කර ඇත. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ඔවුහු මිනිස් වර්ගයා වෙනුවෙන් තම යුතුකම් ඉටු කළෝය.
1940-60 යුගය අඳුරු කාල පරිච්චේදයක් විය. දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට සහ ඉන් අනතුරුව බිඳුණු ලෝක ආර්ථිකය නැංවීමට බොහෝ රටවල කාලය සහ ශ්‍රමය වැය විය. 1960 න් පසු අද වන විට වසර 56 ක් ගතවී ඇත. ලොව පුරා විද්වතුන් කණ්ඩායම් දහස් ගණනක් ඖෂධ වර්ග පිළිබඳව පරීක්ෂණ මෙහෙයවයි. ඔවුන් වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් පොම්ප කෙරෙමින් පවතී. තම පර්යේෂණ කටයුතු සඳහා මෙම විද්‍යාඥයන්ට ඇති පහසුකම්, තාක්ෂණය, ක්‍රමවේද එඩ්වර්ඩ් ජෙනර්ලා තම අභාව්‍යමය සිහිනවල වත් දකින්නට නැත. එහෙත් ලොව මේ කාල පරාසය තුල මිලියන ගණනක් මිනිසුන් පීඩාවට සහ මරණයට පත් කල ප්‍රධාන රෝග ත්‍රිත්වය, HIV, පිළිකාව සහ දියවැඩියාව සම්පුර්ණයෙන් සුවකිරීමට තවමත් පැහැදිළි අත්දුටු ප්‍රතිකර්මයක් සොයාගෙන නැත.
නමුත් මෙම රෝගියෙකු තවත් එක දවසක් ජීවත් කල හැකි තාවකාලික ඖෂධ වර්ග සහ ප්රතිකාරක ක්‍රම දිනපතා වෙළද පොලට හඳුන්වා දෙනු ලැබෙයි. ඔබට මුදල් ඇත්නම් තව දිනකට මෙලොව එළිය දැකිය හැක. නො එසේ නම් ඔබ මිය යනු ඇත. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය ඔබව සුවපත් කිරීමට නොව ඔබ අපහසුවකින් තොරව සදාකාලික රෝගියකු ලෙස පවත්වාගෙන යාමයි.