Tuesday, 21 August 2018

පැන්නට පසු සිතා බලමු



මැලේසියාවේ නැගෙනහිර වෙරළට යාබද කෙලන්තාන් සහ තෙරෙන්ගානු පළාත් ලංකාවට බෙහෙවින් සමානකම් දක්වයි. කුඹුරු යායවල්, පොල් ගස්, සරම් ඇඳි මිනිසුන් මෙම ප්‍රදේශයේ ගමන් කරන ඔබව එකවරම ලංකාවේ ගම්බද පළාතකට රැගෙන යයි. ලංකාවටද බලපාන ගැටළුවක් මෙම ප්‍රදේශයේ උද්ගත වී ඇත. එනම් මෙම පරිසරයේ මූලික අංගයක් වන ප්‍රදේශය පුරා පිහිටි වැව් දියබෙරලිය (water hyacinth) ශාකයෙන් වසා ගැනීමයි. මෙය දැන් දශක කිහිපයක් පුරාම බලපාන ගැටළුවකි. මෑතකදී මෙම ජලාශ ආශ්‍රිතව ගොඩනගා තිබෙන ක්ෂුද්‍ර-ජල විදුලි බලාගාර (micro-hydro power stations) පවත්වාගෙන යාමද මේ නිසා අසීරු වී ඇත.

මෙයට දියහැකි විද්‍යාත්මක විසඳුමක් උදෙසා ගිය වසරේදී විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය විසින් යෝජනා කැඳවනු ලැබීය. මේ සඳහා මමද යෝජනාවක් ඉදිරිපත් කලෙමි. එහි වුයේ කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගෙන දියබෙරලිය හඳුනා ගන්නා රොබෝ මාළුවෙකි. මෙය මම Hyacinth Swallowing Shark (HSS) නමින් හැඳින් වුයෙමි. HSS දියබෙරලිය ශාකය හෝ එහි කොටස් හඳුනා ගත් විට, එය එම ශාකය සම්පුර්ණයෙන්ම ගිලදමයි. මෙය නම්‍යශීලී නලයක (flexi-tube) ආධාරයෙන් එම  ගිලගත් ශාක කොටස් ගොඩ බිමට පොම්ප කරයි. එසේ පොම්ප කරන ශාක පොහොර හෝ බයෝ ඩීසල් සෑදීම සඳහා උපයෝගී කරගත හැක. සුර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බැවින් HSS සඳහා විදුලි බිලක් නැත. 

මෙය වැවක පාකර දින දෙක තුනකින් විශාල වපසරියක ඇති දියබෙරලිය ඉවත් කරයි. වැවේ ධාරිතාවය සහ තිබෙන දියබෙරලිය ප්‍රමාණය මත HSS හි ප්‍රමාණය තීරණය කල හැක. තෙමසක් පමණ එය වැවේ පාවීමට සැලසු විට නැවතත් නොවැවෙන සේ එයින් දියබෙරලිය ඉවත් කල හැක. 

මගේ යෝජනාව වට තුනක් පසු කර අන්තිමේදී පර්යේෂණ අරමුදල් අනුමැතිය සඳහා යොමු විය. මෙම යෝජනාව ඇගැයීමට (evaluate) ලක් කලේ විද්‍යුත් ඉංජිනේරු තාක්‍ෂණික මඩුල්ලකි.

මුදල් සම්මත කිරීමට පෙර අමාත්‍යාංශය තවත් අගැයීම් කමිටුවක් පත් කළේය. ඒ මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිබඳව සොයා බැලීමටය. එය සමන්විත වුයේ පරිසරවේදීන්, ජලජ ශාක විද්‍යාඥයින් සහ එම ප්‍රදේශයේ වෙසෙන සමාජ සත්කාරක ප්‍රමුඛයින් කිහිප දෙනෙකුගෙනි. 

එම කමිටුවේ වාර්තාව පෙන්නුම් කලේ තරමක් සංකීර්ණ තත්වයකි. මෙම ප්‍රදේශ රැසක වැව්වල මිරිදිය මත්ස්‍ය වගාව සාර්ථකව කෙරෙයි. මීට දශක දෙකකට පමණ පෙර හඳුන්වා දී ඇති තිලාපි විශේෂයක් මෙම මත්ස්‍ය වගාවේ ප්‍රධාන අස්වැන්නකි. එම මත්සයාගේ බෝවීම සඳහා දියබෙරලිය ශාකයේ මුල විශාල කාර්ය භාරයක් ඉටු කරයි. කෙටි කලකින් සම්පුර්ණයෙන්ම දියබෙරලිය ඉවත් කිරීම විශාල පිරිසකගේ ජීවනෝපාය විනාශ කරනු ඇති බව කමිටු වාර්තාවේ සඳහන් විය.  

මේ නිසා රජය මගේ ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම තාවකාලිකව නැවතීය. ඉන්පසු ඔවුන් මෙම මත්ස්‍ය අභිජනනය සම්බන්ධයෙන් ඇතිවන ගැටළුව විසඳීම සඳහා යෝජනා කැඳවීය.

දැනට පවතින්නේ මෙම වාතාවරණයයි. මගේ ව්‍යාපෘතිය කල් තැබීම පිළිබඳව මට කිසිඳු කණගාටුවක් නැත. ඒ වෙනුවට සිදුවන්න ගිය ප්‍රජා ව්‍යසනයක් වැලකීම පිළිබඳව මම අතිශයින් සතුටු වෙමි.

මට මේ පිළිබඳව ලියන්න සිතුනේ ලක් රජය සිදු කරන විලම්භීත ක්‍රියා අතර නවතම නිර්මාණය දුටු විටයි. ඔවුන් මගී ත්‍රිරෝද රථ සඳහා රියැදුරාගේ වයස 35 ක් ලෙස නීතියක් ගෙන ආවේය. මේ රජය පටන් ගත් දා සිටම කරන පරිදි ඔවුන් බලාත්මක කල නීතිය ක්‍රියාත්මක වන විට ඔවුන් අකුළා ගත්තේය. මෙහිදීද සිදුවන ප්‍රජා-ව්‍යසනය පිළිබඳව ඔවුන්ට තේරෙන්නේ නීතිය ප්‍රතිෂ්ඨාපනය කල පසුවයි.

ත්‍රීරෝද රථ නිසා මාර්ගයේ ගමන් කරන සහ රථ වාහන පදවන බොහෝ දෙනෙකුට දිනපතා සිදුවන ගැහැට පිළිබඳව කිසිඳු තර්කයක් නොමැත. එය නැවතිය යුතුය. ඒ අතරම ත්‍රීරෝද රථ පැදවීම රටේ විශාල රැකියා පදනමක් බව රජය පමණක් නොව කුඩා දරුවෙකුට පවා වැටහෙන යථාර්තයකි. එය එක රැයකින් විනාශ කරනවා යනු රට දැවැත්ත අර්බුදයක් කරා රැගෙන යන පියවරක් බව ඔවුන්ට ඉතා පහසුවෙන් වටහා ගත හැකිව තිබුණි. 

ත්‍රීරෝද රථ පමණක් නොව ලංකාවේ මාර්ග පද්ධතිය භාවිතා කරන වෙනත් වාහන සඳහාද අවධානය යොමු කිරීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී ඇත. වාහන ධාවනයේදී සිදුවන අනතුරු සහ අක්‍රමිකතා අවම කරගැනීමේ ක්‍රමවේදයන් සකස් කල යුත්තේ ඒ පිළිබඳව විශේෂ දැනුමක් ඇති විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් විසිනි. ඔවුන්ටද එම ක්‍රියාමාර්ග යෝජනා කල හැක්කේ පුර්ණ පර්යේෂණ මාලාවකින් පසුවයි. සමහර විට වෙනත් රටක සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ලංකාවට නොගැලපිමට පුළුවන. 

මහා මාර්ග කළමනාකරණය සහ ප්‍රවාහන තාක්ෂණය (highway management and transport technology) පිළිබඳව ආචාර්ය හෝ ශාස්ත්‍රපති උපාධි සහිත ලාංකිකයන් කිහිපදෙනෙක් වත් රටේ සිටින බව මම විශ්වාස කරමි. ඔවුන්ගේ දැනුම ලබාගන්නේ නැතිව දේශපාලකයා සියළු දේ පිළිබඳව විශේෂඥයා වන්නට යෑම රටේ බොහෝ ව්‍යසනයන්ට හේතු පාදක වී ඇත.  

මේ ලිපිය සඳහා ලැබුණු පළමු ප්‍රතිචාරයට මා පළ කල අදහස සිංහලෙන් ලිවීමට සිත්වේ. එය ලියු මහත්මයා ඇසුවේ මෙම නීතිය ගෙන ඒමට මුල් වුයේ ත්‍රීරෝද රථ පැදවීමේ සේවාව නිසා සමාජයට අවශ්‍ය වෙනත් රැකියා කෙරෙන් තරුණයන් ඈත් වීම නැවතීමට නොවේද කියාය. එය සත්‍යයක් විය හැක. එහෙත් මගේ දැනුම අනුව නම් නිත්‍යානුකූල රැකියාවක් සඳහා පුද්ගලයන් යොමුවීම නැවතීමට නීති පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. එබඳු තත්වයක් ඇත්නම් රජය කල යුත්තේ අනෙකුත් රැකියාවන් සඳහා ඇති ඉල්ලුම වැඩිවන ආකාරයෙන් වැඩපිළිවෙලක් දියත් කිරීමය. එසේත් නොමැති නම් ත්‍රීරෝද රථ සේවය සඳහා ඇති ඉල්ලුම අඩු වන පරිදි ක්ෂුද්‍ර-ප්‍රවාහන සේවා ජාතික මට්ටමින් ඇති කිරීමය. සමාජය යොමු වන්නේ වඩාත් ලාබදායි සේවා සඳහාය. එය සමාජයේ අයිතියයි.

රටේ සමස්තයටම බලපාන යම් තීරණයක් ගැනීමේදී රජයක් පළමුව ප්‍රමුඛත්වය දිය යුත්තේ මුලිකව තීරණය කල අරමුණු එම පියවර මගින් සාක්ෂාත් කරගත හැකිද යන්නටයි. ඉන් පසු එම පියවර ක්‍රියාත්මක කිරීමෙන් සිදුවිය හැකි අවශේෂ ප්‍රතිඵල පිළිබඳව ඇගැයීමක් කල යුතුය. මේ දෙකම නොමැතිව අපි දැන් දශක ගණනාවක් පිය නගන්නෙමු.

තවත් මේ පද්ධතිය තුලම ඉදිරියට පාවෙනවාද නැද්ද යන්න ලාංකික ඔබට බාරය. 




Monday, 6 August 2018

වික්ටර් සර් (Sir Viktor)



1995 වසරේ ජූලි මාසයේ දිනක මම ස්වීඩනයට ගොඩ බැස්සෙමි. ඒ මගේ බිරිය සහ තෙමස් වයසැති පුතු සමගය (පසුව ඔහු ලොකු පුතා නොහොත් ලොක්කා විය). ඊට පසු දින මම පශ්චාත් උපාධියේ වැඩ කටයුතු ඇරඹීම සඳහා උප්සලා සරසවියේ අධි වෝල්ටීයතා පර්යේෂණ අංශය වෙත ගියෙමි. එකල මෙම ආයතනය පිහිටියේ නගරයෙන් පිටත ඉතා අඩු ජනගහනයක් විසූ හුස්බිබෝරි ප්‍රදේශයේය. එක් පසෙකින් නිතර වාහන ගමන් නොකරන මහා මාර්ගයකි. අනෙක් පසින් තිරිඟු වතු සහ ලඳු කැලෑවෙන් යුත් විශාල භූමි ප්‍රදේශයකි. මේ මායිම් අතර අක්කර ගණනාවක් පුරා පැතිරුණු බිම් කඩක් මධ්‍යයේ තිබූ සුවිසල් අධිවොල්ටියතා අංශ ගොඩනැගිල්ල පැරණි භූත මන්දිරයක් මෙන් දිස්විය. එය ප්‍රෞඩ අධ්‍යාපනික ඉතිහාසයක පිය සටහනක් බඳුය. 

මා ගොඩනැගිල්ලට ඇතුළු වී කලින් මට දැනුම් දී තිබුණු පරිදි තෝමස් හමු විය. ඔහු එවකට තරමක් මුඛරි, කඩවසම් ස්වීඩන් ජාතික තරුණයකු විය. ආයතනයේ අභ්‍යන්තර කටයුතු බාරව සිටි තෝමස් මුලික ගොඩනැගිල්ලෙන් එපිට පිහිටි තවත් ගොඩනැගිල්ලකට මාව රැගෙන ගියේය. ඒ සඳහා යායුතු වුයේ වසර 50 වත් පැරණි  පොළව යටින් වූ උමගකිනි. මීටර් 40ක් වත් දුර නැති මේ කොටසට යාමට පොලව හාරා උමගක් තනා ඇත්තේ කුමකටදැයි මම වික්ෂිප්ත වුයෙමි. තවත් මාස කිහිපයකින් මට එය වැටහුණි. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30 ක් පමණ වන ශිත ඍතුවේ ගොඩනැගිලි අතර ගමන් කිරීමට මෙම උණුසුම් උමග දිව්‍ය පථයක් විය. 

තෝමස් මට මගේ කාමරය පෙන්වීය. එදා පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස මට ලබා දුන් ඒ කුටිය, අද මහාචාර්යවරයෙකු ලෙස මට ලැබී ඇති නිල කාර්යාලය මෙන් හතර ගුණයක් පමණ විය.

"ඔබ පැමිණෙන තුරු වර්නන් බලා සිටිනවා" යැයි පැවසු තෝමස් විගසින් පිටව ගියේය.


මහාචාර්ය වර්නන් කුරේ මාගේ සුපවයිසර්වරයා විය. එවකට ඔහු ආයතනයේ උප ප්‍රධානියාය. මා ඔහුගේ කාර්යාලයට ගිය පසු ටික වෙලාවක් ආගිය තොරතුරු විමසු මහාචාර්ය වර්නන් "චන්දිම අපි මුලින්ම රිවීව් පේපර් එකක් ලියමු නේද" යැයි ඇසීය. මම එකවරම "හා ලියමු" කියා කීවෙමි. 

එහෙත් මට ඔහු කී දෙය තේරුණේ නැත. ඔහු අදහස් කර තිබුනේ සමාලෝචන පත්‍රිකාවක් (review paper) පිලිබඳවය. එවකට මට පේපර් එකක් යනු එක්කෝ උදෑසන පළවන ප්‍රවෘති හෝ චිත්‍රකතා පත්‍රයකි නොඑසේ නම් විභාග ප්‍රශ්න පත්‍රයකි. මගේ වික්ෂිප්තභාවය ඉව වැටුණු මහාචාර්ය වර්නන් පත්‍රිකාව සහ එහි මාතෘකාව පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ඉන් පසු පුස්තකාලයට ගොස් අදාළ ප්‍රකාශිත පත්‍රිකා අධ්‍යනය කරන ලෙස පැවසීය. 

කිහිප දෙනෙකුගෙන් අසා ගෙන මම ආයතනයේ පුස්තකාලය වෙත ගියෙමි. එයද ප්‍රධාන ගොඩනැගිල්ලේ පසෙක විය. මෙය ඔබ හැරී පොටර් චිත්‍රපටි වල දකින පුස්තකාලයකට වඩා වැඩිපුර වෙනස් නොවීය. අඩි දොළහක් පමණ උසට වූ පොත් රාක්ක වල සම් බැඳුම යෙදු පොත් සහ සඟරා එක පෙලට අසුරා ඇත. සුවිසල් පුස්තකාලය තුල සිටියේ තව එක පුද්ගලයෙකු පමණි. ඔහු ආරෝහ පරිණාහ දේහධාරී තරමක වියපත් සුදු මහතෙකි. ඔහු මේසයක් මත වූ යමක් දෙස නෙත් යොමාගෙන සිටියේය. බැලූ බැල්මට ඔහු පුස්තකාල සේවකයෙකු වන්න ඇතැයි මම සිතුවෙමි.  

මහාචාර්ය වර්නන් පැවසු සඟරා තිබුණේ අර පුද්ගලයා සිටි ස්ථානය ආසන්නයේ ඉහලම රාක්ක වලය. ඒවා සඟරා දහය බැගින් සම් බැම්මෙන් බැඳ අසුරා තිබුණි. මේවා ගැනීම මට ප්‍රෙහෙලිකාවක් විය. 

"කරුණාකර මට කියන්න පුලුවන්ද මේ සඟරා ගන්නා ආකාරය" මම අර පුද්ගලයාගෙන් ඇසුවෙමි. 

"අන්න අතන තියෙනවා ඉනිමගක්. එය රැගෙන විත් තමයි ඔබට ඒවා ගන්න වෙන්නේ" ඔහු ඉතා ශාන්ත ස්වරයෙන් ඈත කොනක ඇති ඉනිමගක් පෙන්වීය. 

"බොහෝම ස්තුතියි" කියමින් මා එදෙසට යන විට "ඔබට උදව්වක් අවශ්‍යද" කියා ඔහු ඇසීය.

එබන්දක් අවශ්‍ය නොවන බව ඔහුට කාරුණිකව පැවසූ මම ඉනිමග වෙත ගොස් එය රැගෙන ආවෙමි. 

දැන් මා ඉනිමගට නැග සඟරා තොරයි. අර තැනැත්තා මා දෙස බලා සිටියි. සඟරා ගොනු කිහිපයක් තෝරා ගත් මා ඔබට මේවා අල්ලා ගත හැකිදැයි පහල සිටින මිතුරාගෙන් ඇසුවෙමි.  

"ඔව් එවන්න" ඔහු පැවසීය. මා පහලට දැමු සඟරා ගොනු එකින් එක ඔහු සුරැකිව අල්ලා මේසය මත ගොඩ ගැසීය. 

සඟරා ගොනු හයක් පමණ පහලට එවීමෙන් පසු මම ඉනිමගෙන් බැස්සෙමි. ඉන්පසු ඉනිමග නැවතත් ගෙන ආ තැනින් තබා නව මිතුරාට ස්තුති කර මගේ කාමරයට සඟරා ගොන්න ඔසවාගෙන ගියෙමි.  

එදින දිවා ආහාරයෙන් පසුව මා ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණෙන අතර මට තෝමස් හමු විය. 

"ඔබට මේ වෙලාවේ ආයත ප්‍රධානියා හමුවිය හැකියි. සාමාන්‍යයෙන් ආයතනයට මුලින්ම පැමිණෙන සියලු දෙනා ඔහුව මුණ ගැසී තමාව හඳුන්වා දෙනවා". තෝමස් මට උපදෙසක් දුන්නේය.

තෝමස්ගේ මගපෙන්වීම අනුව මම ආයතන ප්‍රධානියාගේ කාර්යාලය සොයාගෙන ගියෙමි. ඕක් ලීයෙන් (පසුව මා දැනගත් පරිදි) තැනු විශාල දොරක 'මහාචාර්ය වික්ටර් ෂූකා" යනුවෙන් රත්‍රං පැහැ අකුරින් සටහන් කර ඇත. මා දොරට තට්ටු කල විට  පහත් එහෙත් ගාම්බීර හඬින්  "ඇතුලට එන්න" යනුවෙන් ඇතුලෙන් ඇසුනි. මා දොර ඇරගෙන ඇතුලට ගියෙමි. එය බටහිර සිනමා පටයක අප දැක ඇති වික්ටෝරියා යුගයේ ආදිපාදවරයෙකුගේ කාර්යාලයක් වැනි සුවිසල් කාමරයකි. එහි මධ්‍යයේ විශාල ලී මේසයක් පිටුපස අගනා සම් නිමාවෙන් යුතු විසල් විධායක අසුනක් අරා සිටින්නේ මගේ පොත් අල්ලා ගත් සඟයාය.


"ඇවිත් වාඩිවන්න" අන්දමන්දව සිටි මා හට මහාචාර්ය වික්ටර් ෂූකා විධානය කළහ. 

"ඔබ ගෝමස් විය යුතුයි". 

මා 2009 දී ඔහුව අවසන් වතාවට මුණ ගැසෙන තුරුම ඔහු මට කතා කලේ ගෝමස් කියාය. චන්දිම කියනවාට වඩා පෘතුගීසි ගෝමස් යන නම ඔහුට පහසුවෙන් උච්චාරණය කල හැකි වුවා විය හැක.

"ඔව් සර්" එවන විටත් අන්ද මන්ද බව පහව ගොස් නොසිටි මම පිළිතුරු දුනිමි. 

මහාචාර්ය ෂූකාගේ මුහුණ රතු විය.

"කවදද මිනිහෝ මට නයිට් පදවිය ලැබුනේ?" ඔහු ගුගුලේය.

මට මගේ දෑස් නිලංකාර වනු දැනුනි. මොනවා කියන්නද මොනවා කරන්නද කියා සිතා ගත නොහැකිව මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. 

මුවඟට සිනහවක් නගා ගත් මහාචාර්ය ෂූකා නැවතත් ඉතා ශාන්ත ස්වරයෙන් කතා කරන්න විය.

"මම දන්නවා ඔබේ රටවල මෙම සර් ආමන්ත්‍රණය තිබෙන බව. එහෙත් ඔබ දැන් සිටින්නේ ස්වීඩනයේ. මෙහි සර්ලා තබා මහත්ම මහත්මියන් වත් නැහැ සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නේ නමින් පමණයි". 

එදා පටන් ඔහු මට වික්ටර් විය. අද දක්වාම මගේ සුපවයිසර් වරයා මට වර්නන්ය. එතන සිටි හැමෝම බෙන්ජමින්, උල්ෆ්, රෝල්ෆ්, මර්කුස්, ගුනේලා, සබ්‍රිනා විය. බෙන්ජමින් මහත්මයා හෝ සබ්‍රිනා මහත්මිය අප අතර නොසිටියේය. 

වසන්ත සමයේ අග භාගයේ සිට සරත් සමයේ මුල් භාගය වනතෙක් ආයතනයේ සියලු දෙනා සැමදාම උදෑසන තේ පානය (කෝපි පානය කිවහොත් වඩා නිවැරදිය) සඳහා එළිමහනේ රැස් වෙයි. එක පෙලට පිහිටවූ මේස වටේට පුටු තබාගෙන අපි හිරු එළියෙන් නැහැවෙමින් කෝපි කෝප්ප තොලගාමු. ආයතනයේ අතුගෑම සහ වැසිකිලි පිළියෙළ කිරීමට පැමිණෙන ලීනා කෝපි සාදයට එක් වන්නේ තරමක් ප්‍රමාදවය. ඇය සැමදාම "හායි වික්ටර්" කියා වික්ටර් ෂූකාගේ පිටට පහරක් ගසමින් කෝපි කෝප්පය සමග ඇගේ අසුනට යයි. 

අප සියළු දෙනා තුල එකිනෙකා කෙරෙහි ඉතා තද ගෞරවයක් විය. වික්ටර්, වර්නන්, රජීව් වැනි ආචාර්ය මහාචාර්ය වරුන් කෙරේ අප තුල තිබුණේ ඉතා ඉහල ගුරු බැතියකි.  එය අදද අප තුල එලෙසම පවතී. වික්ටර් 2010 දී මෙලොවින් සමු ගත්තේය. වර්නන් සහ රජීව් සමග මම තවමත් පර්යේෂණ සහයෝගිතා පවත්වමි. ඔවුන් අපගේ ගුරු දේවයෝය. 

අපි ඉගෙනගන්නා සමයේ අපේ සිසුන් "කොහොමද සර්" කියා දෙකට නැමුණු, අපට වද පීඩන දුන් ගුරුවරු පිළිබඳව මට සිහිවෙයි. ඔවුන් දර්ශන පථයෙන් ඉවත් වූ සැනින් සිසුන් ඔවුන් හැදින්වුයේ ඉතා පහත් කවට නාම වලිනි. ඔවුන් කෙරේ කිසිදු ගෞරවයක් හෝ පැහැදීමක් කිසිවෙක් තුල නොවීය. 

මට අදටත් සිතෙන්නේ "සර්" යනු වහල් යුගයෙන් බින්නවී විත් තවමත් අප අතර පවතින විකටරූපී නෂ්ටාවශේෂයක් බවයි.