Wednesday 18 March 2020

භූතයන් පෙන්වීම


මීට වසර 15-16 ට පමණ පෙර මම ඉතාලියේ ට්‍රියෙස්තේ නුවර පිහිටි ICTP ආයතනයේ සතියක වැඩමුළුවකට සහභාගී වන අතර අපූරු සිදුවීමකට මුහුණ දුනිමි. මෙම ආයතනය ඉතා දැකුම්කළු ස්ථානයකි. ඔබ භෞතික විද්‍යාඥයෙක් නම් එකවරක් හෝ ICTP (International Center for Theoretical Physics) ආයතනයේ වැඩසටහනකට සහභාගී වී තිබිය යුතුයැයි මම සිතමි. 

අන්ද්‍රියාතික් මුහුද අසබඩ පිහිටි මෙම ආයතනය මා දුටු ඉතාම මනරම් පරිසරයක පිහිටි ගොඩනැගිල්ලකි. සවස් කාලයට ආයතනයේ එළිමහන් සඳළුතලය වෙත ගිය විට ඈත සිතිජය ඉමේ චමත්කාරජනක වර්ණ සංයෝජනයක් ඇතිවී මනරම් දසුනක් මතුකරයි. ග්‍රීෂ්ම ඍතුව ආසන්න වෙත්ම රාත්‍රී 8-9 වනතෙක් ලා රත් පැහැ එළියක් අහස පුරා දිස්වෙයි. 

එම වැඩමුළුවට සහභාගී වී සිටි බ්‍රිතාන්‍යයේ සේවය කරන අර්ජෙන්ටිනියන් කාන්තාවක් අප සමග කුළුපඟ විය. ඇය ඉතා භක්තිමත් කතෝලික, භෞතික විද්‍යාඥවරියක් වුවාය. ඇයගේ කතා විලාශයෙන් පෙනුනේ ඇය ඉන්දීය පෙනුම ඇති සියල්ලන් යෝගී අභ්‍යාසවල යෙදෙන, විකාරරූපී දේව ප්‍රතිමා සරණ යන, අද්භූත පුද්ගලයන් සේ සිතන බව යැයි මට හැඟුනි. ඇයගේ නම මට හරියටම මතක නැති බැවින් අපි තෙරේසා යයි ඇයව හඳුන්වමු. 

දිනක් රාත්‍රී ආහාරයෙන් පසු සඳළුතලයේ කවයක ආකාරයෙන් තබා තිබු පුටු කිහිපයක ඉඳගෙන අපි කතා බහට වන්නෙමු.  තෙරේසා, අප්‍රිකානු කාන්තාවක් සහ තවත් කිහිප දෙනෙකු එහි විය. අනෙක් අය මට මතක ඇති ආකාරයෙන් නොයෙකුත් ලතින් ඇමරිකානු රටවලට අයත් විය. 

තෙරේසා ඇයගේ ආගම පිළිබඳව කතා කිරීමට බෙහෙවින් ඇල්මක් දැක්වීය. තමා අන් ආගම් වලට ගරු කරන, සාධාරණව සිතන අයෙකු බව හුවා දැක්වීමට ඇය නිතරම උත්සහා කලාය. එහෙත් බොහෝ විට ඇයගේ වාග් විලාශයත් ශරීර බසත් (body language) පලකලේ ඇය අන්‍ය ආගම් පහත් ලෙස සලකන බවයි. විශේෂයෙන්ම මරණින් මතු ආත්ම පිළිබඳව ඇති පෙරදිග ඇදහීම් ඇය ඉතා සුක්ෂම ලෙස අවඥාවට ලක් කරන ලදී.

"චන්දිම ඔබ භූතයන් (ghosts) සිටිතැයි පිළිගන්නවාද?" තෙරේසා එකවරම ඇසුවාය. 

ඒ වන විට අප දැන හඳුනාගෙන දින කිහිපයක් ගතවී තිබුණු බැවින් ඇයගේ ක්‍රමවේදය පිළිබඳව මට යම් වැටහීමක් විය. එකල මම රැකියාවෙන් භෞතික විද්‍යාඥයෙක් වුයෙමි. මා කුමන පිළිතුරක් දුන්නත් ඇය අන්තිමට පෙන්වා දෙන්නේ එවකට තිබු  මගේ ආගමික මතවාදය භෞතික විද්‍යාඥයෙකුට නොගැලපෙන බවයි.  

තරමක කල්පනාවක නිරත වූ මම, එම පැනයට පිළිතුරු දෙන්න පෙර මට ඇයගේ අධ්‍යාත්මික වටපිටාව (spiritual environment) නිරීක්ෂණය කල හැකිදැයි අසා සිටියෙමි. මා කියන්නේ කුමක්දැයි ඇයට තේරුණේ නැත (මට තේරුණේද නැත). එහෙත් ඇය ඊට එකඟ වුවාය. මේ වන විට පරිසරය අඩ අඳුරේ පැවතුනි.

ඇයට ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන මා දෙස බලා සිටින්න යැයි මම පැවසුවෙමි. ඉන් පසු මම ඇයගේ හිස වටේට නිරීක්ෂණය කරන ආකාරයක් පෙන්වා, ඇයගේ හිසට වම් පසින් අඟල් හයක් පමණ ඈතින් මගේ දෙනෙත ස්ථානගත කලෙමි. දැන් සියල්ලෝම මා දෙස බලාගෙන හිඳිති.

"තෙරේසා ඔබේ වම් උරහිසට සිහින් බර ගතියක් දැනෙනවාද" මම අනපේක්ෂිත ලෙස තරමක ගැඹුරු හඬකින් ඇසුවෙමි.

"නැහැ. කොහෙත්ම නැහැ" ඇය මාව ගණන් නොගන්නා ස්වරයෙන් කීවත් ඇයගේ කටහඬේ සියුම් කැළඹීමක් ඇති බව පෙනුනි. 

ඉන් පසු මම තැම්පත්, එහෙත් ගුප්ත ස්වරයකින් මෙලෙස පැවසුවෙමි.

"ඔබගේ වම් පසින් ඔබට පිටුපස යම් තැනැත්තියක් සිටගෙන සිටිනවා මට පෙනෙනවා. ඇය සුදු පැහැති අත් දිග ගවුමක් හැඳගත් වයසක කාන්තාවක්. ඇයගේ ඉනෙන් පහල කොටස අපැහැදිලියි. ඇයට තඹවන් රැලි වැටුණු කොණ්ඩයක් තිබෙනවා. ඇය එය මුහුණ පුරා විදහාගෙන සිටිනවා. ඇයගේ ඇස් යටට ගිලිලා, මුහුණ, අත් සුදුමැලියි, රැලි වැටිලා. දිගු නහයක්, දිගු ගෙලක් මෙන්ම රතු පැහැ තොල් යුගලයක් තිබෙන බව පෙනෙනවා. ඇයගේ හකුපාඩා ගිලා බැහැලා. පපුව මත ලී කුරුසයක් එල්ලෙමින් තිබෙනවා". 

තෙරේසාගේ ඇස්වල භීතිය ඇතිවන අයුරුත්, මුව සුදුමැලිවී අතැඟිලි වෙව්ලන අයුරුත් මම ඉහත ප්‍රකාශය කරන අතරම නිරීක්ෂණය කලෙමි.

මගේ විස්තරය මදක් නතර කල මම, ඇය දෙස බලා "ඒ කාන්තාව දැන් ඔබ දෙස බලාගෙන, ඔබගේ මුහුණට එබෙනවා. දැන්වත් ඔබේ උරහිසට බරක් දැනෙන්නේ නැද්ද?" යැයි ඇසුවෙමි. 

උරහිස මත ඇති යමක් ගසා දමන්නාක් මෙන් දකුණු අතින් එය පිස දැමු තෙරේසා, එකවරම යටිගිරියෙන් හඬක් නගාගෙන අසල වුන් අප්‍රිකානු කාන්තාව වෙත පැන, ඇයව බදා ගත්තාය. සියල්ලෝම තුෂ්නිම්භූත වූ අතර තෙරේසා වෙව්ලමින් හඬන්න වුවාය. මාද මෙතරම් ප්‍රතික්‍රියාවක් ඇයගෙන් කිසිසේත් බලාපොරොත්තු වුවේ නැති බැවින් මදකට නිරුත්තරව බලා සිටියෙමි.  

"තෙරේසා ඔබට මා බොරුවක් කලේ. බයවෙන්න එපා. එහෙම කිසිම දෙයක් මම දැක්කේ නැහැ" ඇය අස්වසාලමින් මම ඇය වෙතට පිය නැගුවෙමි. 

"නැහැ ඔබ දැන් කියන්නේ බොරු. ඔබ මා ලඟට එන්න එපා. ඔබ යක්‍ෂයා ඇසුරු කරන්නෙක්. ඔබට භූතයන් පෙනෙනවා" ඇය හොඳටම බියවී සිටියාය. අනෙක් අයද, විශේෂයෙන්ම අප්‍රිකානු කාන්තාව, මා දෙස බැලුවේ දරුණු යක්ෂයකු දෙස බලන ආකාරයෙනි.

"මම දන්නවා. මම දන්නවා. ඔහු දැක්කේ මගේ මියගිය නැන්දනියගේ භුතයාවයි. ඇය මට බොහොම ආදරය කළා. මට තේරුණා ඇය මියගිය පසු මා පසුපස එයි කියා" තෙරේසා වෙව්ලමින්, අනෙක් අය දෙස නෙත් යොමා, කියාගෙන යයි. අප්‍රිකානු කාන්තාව කුමක් හෝ යාඥාවක් කරන්න වුවාය. වාසනාවට එවන විට අවට දෙතුන් දෙනෙකු හැර අන් කිසිවෙකු නොවීය.   

ඇත්තෙන්ම මම කලේ තෙරේසාව යම් මානසික ව්‍යාකුලත්වයකට පත් කිරීමයි. මා අදිසි භූතයාගේ හැඩරුව ලෙස විස්තර කලේ තෙරේසාගේම ස්වරූපයයි. ඊට වියපත් අයෙකුගේ අංග ලක්ෂණ කිහිපයක් එකතු කලෙමි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට තමන්ගේ හැඩරුවට සමාන වියපත් ඥාතීන් වෙති. ඔවුන් මියගිය විට, බොහෝ අවස්ථාවල කාන්තාවක් නම් අන්දන්නෙ දිග සුදු ඇඳුමකි. සුදු පැහැ අයෙකුගේ මළමිනියක මුහුණ අතපය සුදුමැලිය. බොහෝ කතෝලික පවුල්වල (විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල) කෙනෙකු මිය ගිය විට මෘත ශරීරයේ පපුව මත ලී කුරුසයක් තැම්පත් කරයි. මේ අනුව මම මනසින් තෙරේසාව ඇය දන්නා කෙනෙකුගේ අවමංගල්‍ය උත්සවයට ගෙන ගියෙමි. 

මගේ අරමුණ වුයේ තෙරේසා වෙතින්ම උරහිසට බර ගතියක් ඇතිවන බව පැවසීමට සලස්වා ඕනෑම භූතයෙක් මනසින් සෑදීමට හැකි බව ප්‍රයෝගිකව පෙන්වීමයි. නමුත් අවාසනාවකට මගේ සැලැස්ම හිතුවාට වඩා ව්‍යාකූල විය. මා එවෙලේ කෙතරම් පැහැදිලි කරන්න උත්සහ ගත්තත් ඇය මා බොරුවක් යැයි කියන්නේ බොරුවක් බව කීවාය. ඇයට ඇගේ උරහිස මතට භූතයා බරවෙන බව හොඳින්ම දැනී තිබුණු අතර ඒ කතා කරන අවස්ථාවේද භුතයාගේ හුස්ම ඇයගේ බෙල්ලට වදින බව කීවාය.  මේ කතා කරන්නේ ක්වොන්ටම් විද්‍යුත් ගතිකය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක් නොවේදැයි මට එවෙලේ සිහියට නැගුණි. ඇය හුස්ම ගන්නා භූතයෙක් පිළිබඳව දොඩවයි.

කෙසේ හෝ ඒ සිදුවීම පිළිබඳ තතු අප කිහිප දෙනාගෙන් එපිටට නොගියේය. වැඩමුළුව පැවතුන ඉදිරි දින කිහිපයේ තෙරේසා හෝ අප්‍රිකානු කාන්තාව මා සමග කතාකලේ නැත. ඔවුන් උවමනාවෙන්ම මා මග හැරියෝය.

එදා මෙදා තුර මට භූතයන් ප්‍රේතයන් වැනි අමනුෂ්‍ය බලවේග දුටුවා යයි කී පිරිස් බොහෝ හමුවී ඇත. ඔවුන් පවසන්නේ සත්‍යක්ද නැත්ද යන්න මට අදාළ නැත. මන්ද එයින් මට ඵලක් නොවන බැවිනි. එහෙත් මා එක දෙයක් ස්ථිර වශයෙන්ම දනිමි. එනම් මේ සමාජයේ බොහෝ දෙනාට භූතයන් පෙන්වීමේ හැකියාව මට ඇති බවයි. 



   

No comments:

Post a Comment